September 2017

Thursday, September 28, 2017

සිත්තරී මං හෙවත් සම්මාන ලැබූ වීරවරිය...


තිලිණි ෂැල්වින් හෙවත් සිත්තරී මං ගැන බ්ලොග් පෝස්ට් එකක් ලියනවද, වෝල් එකේ ලියනවද කියල හිත හිත දවසක්ම ගත වුණා. ඕන දෙයක් වෙද්දෙන් කියල බ්ලොග් පෝස්ට් එකක් ලියන්න තීරණය කලේ ඇයව මුලින්ම දැන හඳුනාගත්තෙ බ්ලොග්කාරියක් විදියට නිසා. සංස්කාරය විනිවිද කියල බ්ලොග්ස්පොට් වලත්, වර්ඩ්ප්‍රෙස් වලත් යන දෙකේම ලියූ ඇය (දෙකේම ලිව්වෙ එකම දේවල් හැබැයි) දැන් නං ෆේස්බුක් වලට සින්න වෙලා ද කොහෙද.

මීට අවුරුදු දෙකකට විතර ඉස්සර තිලිණි තමන් සේවය කරන කහටලියද්ද චූලාභය ද්විතීයික පාසලේ ඉගෙනගන්න දරුවන්ට තියෙන අඩුපාඩු ගැන, විශේෂයෙන්ම අවුරුදු 6 ක් තිස්සේ ඒ දරුවන්ට බලපාල තිබුණු ජල හිගය ගැන තමන්ගෙ ෆේස්බුක් මිතුරන් එක්ක සාකච්ඡා කලා. ඒ විතරක් නෙමෙයි ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වුණා. එහි ම එක් අංගයක් විදියට මටත් ඒ පාසලට යන්න අවස්ථාව ලැබුණා. ඇයගේ මහන්සියත්, උනන්දුවත්, මිතුරු මිතුරියන්ගේ මූල්‍ය සහ ශ්‍රම දායකත්වයත් එකතු කරල පාසලට කිලෝමීටර් 1 1/2 ක් දුරින් තියෙන ජල උල්පතකින් පාසලට ජලය සපයාගන්න තිලිණි සමත් වුණා.
කහටලියද්දට පායන ඉර

ඒ විතරක් නෙමෙයි, ඊට සමගාමීව තවත් බොහෝ දේවල් කහටලියද්දෙ සිද්ධ වුණා. කහටලියද්ද කියන්නෙ සුන්දර දුම්බර මිටියාවතේ තියෙන එක ගම්මානයක්. මහනුවර මහියංගන පාරෙ කිලෝමීටර් 49 ක් ගියාම හම්බවෙන උඩදුම්බර නගරයෙන් වම් පැත්තට කිලෝමීටර් 8 ක් විතර යනකොට තමයි කහටලියද්ද හම්බවෙන්නෙ. උඩදුම්බර ඉඳල කහටලියද්දට යන ගමන ඉතාම ප්‍රපාතාකාර බෑවුම් සහිත මාර්ගයක යන්න තියෙන ගමනක්. ඉතින් මේ දුෂ්කර ගම්මානයේ දරුවො මුලින්ම පුළුල් තිර සිනමා දර්ශනයක් නැරඹුවෙ මේ ජල ව්‍යාපෘතිය පටන්ගත්ත දවසෙ. පාසලේ අඩුපාඩු බොහොමයක් සම්පූර්ණ කරල දෙන්නත් තිලිණිගෙ මගපෙන්වීමෙන් ෆේස්බුක් මිතුරන් සමත් වුණා. එදා මෙදා තුර තිලිණි තමන්ගේ පාසලේ දරුවන් වෙනුවෙන් බොහෝ දේ කලා.
අත කඩා ගත් තිලිණි

ඉතින් තිලිණිගෙ ඒ කැපවීමට හිමි සම්මානය පහුගිය 27 වෙනිදා රෑ තිලිණිට ලැබුණා. ඒ “අද දෙරණ ශ්‍රී ලංකන් ඔෆ් ද ඉයර් - 2017” සම්මාන උළෙලෙ දි. Ada Derana Sri L ankan of the year 2016 – Unsung Hero ලෙස ඇය අභිෂේක ලැබුවේ ඩයන් ගෝමස් සහ රාධිකා කුමාරස්වාමි යන මහත්ම මහත්මීන් අතින්. ඇයත් සමග ඒ වේදිකාවේ දී සම්මානයට පාත්‍ර වූයේ මුත්තයියා මුරලිදරන්, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ, ව්‍යාපාරික මහේෂ් අමලීන්, කලාකීර්ති අයිරාංගනී සේරසිංහ සහ රවිබන්දු විද්‍යාපති ආදී දස දිග පතල පෞරුෂයන්. ඉතින්, කොයි තරම් ආඩම්බරයක් ද?

ඉතින්, තිලිණි... කෙදිනක හෝ ඔබෙන් ශිල්ප ලබන දරුවන් වැඩිහිටියන්ව, මිනිසුන් වෙනුවෙන් සේවය කරන මිනිසුන් බවට පත් වන දිනෙක ඔබේ නෙත් තුටු කඳුලින් පිරේවි. එතෙක් ඔබට තව බොහෝ දුර යා හැකියි. ඔබ වෙත එන මතු පරපුර වෙනුවෙන් තවත් බොහෝ දේ කරන්නට මෙම සම්මානය ඔබට ශක්තියක් වේවි.

සුබපැතුම්....!

ප.ලි. - ඇය සම්මාන ලැබූ සම්මාන රාත්‍රිය හෙට (29) රෑ 9.30 ට දෙරණ නාලිකාවෙන් විකාශය වෙනවා...

ප.ප.ලි. - මේ තියෙන්නෙ මේ බ්ලොග් එකේ ෆේස්බුක් පේජ් එක. "හිතෙන හැටි". ලයික් එකක් දැම්මොත් මීට පස්සෙ ලියන පෝස්ට් ටයිම් ලයින් එකටම වැටෙයි.

Saturday, September 23, 2017

පිස්සු ද? හැටි ද?


මම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආපනශාලාවේ තේ කෝප්පයක් රස විඳිමින් සිටිමි. මීට ටික වේලාවකට පෙර මා ගමන් කරමින් සිටි බස් රථයේ ප්‍රදර්ශනය කරනු ලැබූ වීඩියෝවක් මගේ මතකයට නැගෙයි. එක්තරා ඇමතිවරු දෙදෙනෙක් ග්‍රාමීය ප්‍රදේශයක වෙදමහතකු සොයා පැමිණෙති. එකී වෙදමහතා "පිස්සු" සුවපත් කිරීමට ප්‍රසිද්ධ වෙද මහතෙකි. මේ ඇමතිවරු දෙදෙනා යනුවෙන් පෙනී සිටින්නේ "පිස්සන්" දෙදෙනෙකු යැයි උපකල්පනය කරන වෙද මහතා ඔවුන් සිර කර තබා ගනිමින් ප්‍රතිකාර කරයි. ඔවුන් පැන යාමට උත්සාහ කරන අවස්ථා වල දී ද ගම් වැසියන් පවා සිතන්නේ මේ දෙදෙනා "පිස්සන්" බව ය. 

මා මේ මොහොතේ සිටින මේ භූමිය 1926 ට පෙර හැඳින්වූයේ "පිස්සන් කොටුව" හෙවත් Lunatic Asylum යන නමිනි. ටොරින්ටන් හි පිහිටුවනු ලැබූ පිස්සන් කොටුව ලංකාවේ දෙවන පිස්සන් කොටුව යි. පළමුවැන්න බොරැල්ලේ තිබූ බව කියවෙන නමුත් එහි ශේෂයන් දක්නට නොමැත. එහෙත් මෙම පිස්සන් කොටුව පසු කාලීන ව ලංකා ගුවන්විදුලිය (Radio Ceylon) බවට පත් කරන ලදින් එය සුරැකිනි. 

රූපවාහිනී වෙළඳ දැන්වීමක පෙනී සිටින එක්තරා රංගන ශිල්පිනියක් "අඹ කපන්න විතරක් පිහියක් ගන්නෙ ආයෙ පිස්සුවටයැ" යි කියන්නී ය. මා ගෙදර සිටි කාලයේ සතියකට දෙතුන් වතාවක් මගේ කාමරයට එන අම්මා "මේක පිස්සන් කොටුව වගේ නොතිය ටිකක් සුද්ද කර ගනිංකො" යැයි බැන වැදීම පුරුද්දක් ව පැවතිනි. මීට ටික කාලයකට පෙර මා විසින් කරන ලද ක්‍රියාවක් විවේචනය කල අයෙක් සැනසීමට තවෙකෙක් "ආ වැඩිය ගණන් ගන්න එපා. පිස්සු නෙ." යැයි පවසා තිබූ බව මට පසුව ආරංචි විය. 



මේ අනුව බලන කල පෙනී යන්නේ "පිස්සු" යන වචනය මානසික අසමතුලිතතාවයක් පවතින, වැරදි අවබෝධයන් සහිත, තනිව තීරණයක් ගත නොහැකි, වැරදි නිගමන වලට එළඹෙන, අපිරිසිදු පුද්ගලයන් කණ්ඩායමක් හැඳින්වීමට භාවිතා කරන බව ය. මීට සියවසකට පමණ ඉහත දී කිසියම් මානසික ආබාධයකින් පෙළෙන පුද්ගලයන් හැඳින්වීමට එම වචනය භාවිතා කරන ලද්දේ එකී ලක්ෂණ සැලකිල්ලට ගනිමිනි. එහෙත් වර්තමානයේ එවැනි ලක්ෂණ සහිත මානසික ආබාධ වලින් පෙළෙන පුද්ගලයන් දැකිය හැක්කේ කළාතුරකිනි. එබැවින් "පිස්සු" යන වචනය පොදු භාවිතාවේ යොදා ගැනෙන වචනයක් බවට පත් ව ඇත.

කිසියම් පුද්ගලයෙක් අවස්ථාවට නොගැලපෙන හෝ නිරීක්ෂණය කරන පුද්ගලයාගේ අවබෝධයට හෝ තෝරාගැනීමට පටහැනි හැසිරීමක්, කතාබහක්, තීරණ ගැනීමක් පෙන්වූ අවස්ථා වල අපි ඔහුට හෝ ඇයට "පිස්සුදැ" යි අැසීමට පුරුදු වී සිටිමු. එහෙත් බොහෝ විට එකී හැසිරීමට ඒ පුද්ගලයාගේ "හැටි" වීමට ඉඩ තිබේ. කොටින්ම ඉස්සර සිටි "පිස්සු" පුද්ගලයන් දැන් නැති නිසා කිසියම් මානසික ආබාධයක් අත්විඳින පුද්ගලයකුට පවා "පිස්සු" යැයි ආමන්ත්‍රණය කිරීමට අපට ඇති හැකියාව සීමා සහිත ය. එබැවින් පිස්සු දැයි ඇසිමට පෙර අප දෙවරක් සිතිය යුතු ය. 

දැන් මානසික ආබාධය යන්න පැරණි "පිස්සු" රාමුව අභිබවා ගොස් ඇත. ඉස්සර පිස්සු හැදුනොත් ඔහු හෝ ඇය "පිස්සන් කොටුවට" ගෙන ගොස් දැමිය යුතු ය. ඒ ඔහුගෙන් හෝ ඇයගෙන් සමාජයට වන හානිය වලක්වා ගැනීමට ය. එහෙත් ලෝකය ඉදිරියට යමින් තිබෙන බවත්, මිනිස් මනස ගැන ඉස්සර නොදැන සිටි බොහෝ දේ මිනිසා දැන ඉගෙන ඇති බවත් අප තේරුම් ගත යුතු ය. මානසික රෝගය යනු හෘදයාබාධයක් හෝ දියවැඩියාව වැනි ම රෝගී තත්ත්වයක් බවත්, නිසි ප්‍රතිකාර නිසි පරිදි ලබා ගැනීමෙන් රෝග ලක්ෂණ මැඩ පවත්වාගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට මානසික රෝග වලින් පෙළෙන පුද්ගලයන්ට හැකියාව ඇති බවත් දැන් පිළිගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ 2005-2015 මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තිය මගින් දිස්ත්‍රික් මට්ටම දක්වා මානසික රෝගී නේවාසික ප්‍රතිකාර සේවා ව්‍යාප්ත කරන ලද්දේ ඒ අනුව ය. දැන් මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයන්ට තම දිස්ත්‍රික්කයේ මහරෝහලේ නැවතී ප්‍රතිකාර ගැනීමටත් රෝග ලක්ෂණ පහව ගිය පසු නැවත නිවසට ගොස් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමටත් අවස්ථාව සැලසී තිබේ. එමෙන්ම නිවසට ආසන්නතම රෝහලෙන් පසුවිපරම් සහ ප්‍රතිකාර ලබාගැනීමට ද හැකියාව ඇත. 

එබැවින් යටත්විජිත සමයේ අප මානසික රෝග සහ රෝගීන් දෙස බැලූ කෝනය වෙනස් කර ගැනීමට කාලය එළඹ ඇත. අප එදා දුටු පිස්සුවට වඩා දැන් මානසික රෝගී තත්ත්වයන් වැඩියෙන් හඳුනාගනිමින් තිබේ. කිසියම් හෝ මානසික ආබාධයක් හේතුවෙන් රටට අහිමි වන මිනිස් පැය ගණන ගණන් බැලෙන්නේ ලක්ෂ ගනනින් නොව කෝටි ගණනිනි. එබැවින් මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන පුද්ගලයකුට නිසි ප්‍රතිකාර ලබා හැකි ඉක්මනින් නැවත සමාජගත වීමට අවශ්‍ය සමාජමය පිළිගැනීම ලබා දීම අත්‍යවශ්‍ය කරුණකි. 

දැන් මානසික සෞඛ්‍යය පිළිබඳ නිර්වචනයට රෝග මට්ටම අභිබවා පුළුල් පරාසයක් අන්තර්ගත කර ඇත. ඔබ කාර්යාලයේ දී, නිවසේ දී හෝ වෙනයම් අවස්ථාවක අත්විඳින ආතතිකාරී අවස්ථා වල සිට, ඉතා බරපතල ඝනයේ මානසික රෝගී තත්ත්වයන් දක්වා විශාල පරාසයක අයහපත් මානසික සෞඛ්‍යය පිළිබඳ සංකල්පය විහිදී යයි. ජීවිතයේ කවර හෝ අවස්ථාවක ලේඛණගත මානසික රෝගයක් වැළඳීමේ හැකියාව පුරුෂයන්ගේ 10% කි. කාන්තාවන්ගේ 25% කි. සෑම පවුල් 4 කින් ම එකක කිසියම් මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන පුද්ගලයෙක් සිටින බව සංඛ්‍යාලේඛණ පෙන්වා දෙයි. 

හෙට දවසේ ඔබ හෝ මම කිසියම් මානසික රෝගයක ගොදුරක් වීමට ඇති හැකියාව කිසිවෙකුට අනුමාන කල නොහැකි ය. මොළයක් ඇති ඕනෑම අයෙකුට මානසික රෝගයක් වැළඳීමේ කිසියම් අවදානමක් තිබේ. කිසිවකු තුල අප දකින කිසියම් වෙනස් හැසිරීමක් "පිස්සු" ලෙස නොව ඒ පුද්ගලයාගේ "හැටි" ලෙස දකින්නට පුරුදු විය යුත්තේ එබැවිනි. "පිස්සුවේ හැටි" එහෙම ය. 

අවසාන වශයෙන් මාසයකට පසුව වුව ද කල යුතු ස්තුතියක් තිබේ. තමන්ගේ සල්ලි වලින් සම්මාන උළෙලක් පවත්වා මදි වී ඒ සඳහා සහභාගී වන බ්ලොග්කරුවන්ට කොළඹ සිට ප්‍රවාහන පහසුකම් ද සලසා දීමට තරම් පිස්සුවක් තිබූ ඉන්දික උපශාන්ත සහ දුෂාන් කරවිට සහෘද බ්ලොග්කරුවන්ට හා එහි දේශීය බර කරට ගත් අතුල තිලක් රණසිංහ, ලක්මාල් කන්දෙවිදාන සහ සුමිත් කලණසිරි ආදීන්ට ය. ඒ ඔවුන්ගේ හැටි ය. ඒ හැටිය විශිෂ්ඨ ය.


නැවත හමු වෙමු....!