රුධිර පරීක්ෂණ හරහා ඒඩ්ස් බෝ කිරීම

Thursday, May 4, 2017
ලෝකයේ වෛද්‍ය විද්‍යාව කොයි තරම් දියුණු වුණත් සමහර රෝග වලට ප්‍රතිකාර හොයාගන්න වෛද්‍ය විද්‍යාවට තවමත් හැකියාව ලැබිල නැහැ. ඒ විදියට ප්‍රතිකාර හොයාගන්න බැරි වුණ එක රෝගාබාධ කොටසක් තමයි ඇතැම් වෛරස් රෝග. එයින් එකක් තමයි HIV, එහෙමත් නැත්නම් මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය කියල කියන්නෙ. මොකක්ද මේ HIV කියල කියන්නෙ? HIV කියන එකයි AIDS කියන එකයි දෙකම එකද? මේ ගැන පොඩ්ඩක් හොයන්න හිතු‍නෙ අද ආපු මෙන්න මේ පණිවිඩය නිසා.

//හදිසි අනතුරු හැඟවීමයි!
ඔබේ නිවසට පැමිණ නොමිලේ ඔබේ ලේ පරීක්ෂා කර දෙනවා යයි කිසිවෙක් කීවොත් වහාම ඔහුව හෝ ඇයව පොලීසියට හසු කර දෙන්න. ඉන්සියුලින් කියා එච්. අයි.වී. ඒඩ්ස් රෝගය සහිත වයිරසය ඔබේ ශරීර ගත කිරීමට අයි එස් අයි එස් සංවිධානයෙන් එවූ නියෝජිතයෙක් විය හැක. ඔවුන් පවසන්නේ විශ්ව විද්‍යාලයකින් හෝ රාජ්‍ය ආයතනයකින් කියා වුවත් විශ්වාස නොකරන්න. මෙය හැකි ඉක්මනින් හැකි තරම් ඔබේ මිතුරන් දැනුවත් කරන්න. නිවෙස් වල වැඩිහිටියන් විශේෂයෙන් දැනුවත් කර තබන්න.// 


ඡායාරූප අන්තර්ජාලයෙනි
මේ පළවෙනි වතාව නෙමෙයි. මීට පෙර අවස්ථා ගණනාවක්ම විවිධ ආකාර වලින් ඒඩ්ස් රෝගය බෝ කරන්න උත්සාහ කරනව කියල ප්‍රචාරයන් පැතිර ගියා. ඒවට බය වුණ අයත් හිටියා. එහෙම බය වෙන එකේ අසාධාරණයක් නෑ. මොකද ඇත්තටම සමහර වසංගත රෝග බලෙන් බෝ කරල මිනිසුන් විනාශ කිරීම සමහර ත්‍රස්ථ සංවිධාන කරන දෙයක්. උදාහරණයක් විදියට ගත්තොත් කාලයක් Anthrax කියන බැක්ටීරියාව ඇමෙරිකාවේ මර්මස්ථාන වලට තැපැල් මගින් යවපු අවස්ථා තිබුණා. ඒ විදියටම ත්‍රස්ථවාදීන්ට අවශ්‍ය නම් ඒඩ්ස් බෝ කරල මරන්නත් පුලුවන් ඇති කියල කෙනෙකුට හිතෙන්න පුලුවන්.

මොකක්ද AIDS කියන්නෙ? 
acquired immunodeficiency syndrome (AIDS) කියල කියන්නෙ මානව ප්‍රතිශක්ති ඌනතා සහලක්ෂණය. මේ රෝගය හැදෙන්නෙ HIV - Human Immunodeficiency Virus (මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය) ආසාදනය වීමෙන්. හැබැයි සෙම්ප්‍රතිශ්‍යා වෛරසය ආසාදනය වෙලා පැය ගණනාවකින් රෝග ලක්ෂණ පහළ වෙනව වගේ HIV ආසාදනය වුණ කෙනෙක් AIDS රෝගියෙක් බවට පත් වෙන්නෙ නෑ. වෛරසය ආසාදනය වෙලා අවුරුදු 10 ක් හෝ ඊට වැඩි කාලයකට පස්සෙ තමයි ආසාදිතයා AIDS රෝගියෙක් බවට පත් වෙන්නෙ. නමුත් HIV ආසාදනය වෙලා සතියක් විතර යනකොට රුධිර පරීක්ෂණයක් මගින් වෛරසය ආසාදනය වෙලාද කියල දැනගන්න පුලුවන්.

කොහොමද HIV බෝ වෙන්නෙ?
ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. 

  1. අනාරක්ෂිත ලිංගික සංසර්ගයක් මගින් (ආසාදිතයකුගේ ලිංගික ස්‍රාවයන් වෙනත් අයෙකුගේ ලිංගික අවයව , මුඛය හෝ ගුද මාර්ගයේ ආස්තරන පටක වෙත ස්පර්ශවීමෙන්)
  2. රුධිර හෝ එහි නිෂ්පාදන මගින් (ශිරාගත කර ගනු ලබන මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් වැනි හවුලේ එන්නත් කටු ආදිය භාවිතා කරන්නන් සහ රුධිර පාරවිලයනයට ලක්වන රෝගීන් වැනි අය. එහෙත් ශ්‍රී ලංකාවේ රුධිර පාරවිලයනයේදී HIV සදහා පරීක්ෂා කිරීම මගින් එහි අවදානම අවම කරගෙන ඇත.)
  3. ආසාදිත ම‍වගෙන් දරුවාට ( වෛරස මවගෙන් දරුවාට ගමන් කිරීම කුස තුළ දී, දරු ප්‍රසූතිය සිදුවන අවස්ථාවලදී හෝ මව් කිරි දීමේදී සිදුවිය හැකිය. මෙලෙස රෝග ව්‍යාප්ත වීමේ හැකියාව 25% කි. ප්‍රති වෛරස ඖෂධ හෝ සිසේරියන් සැත්කමක් සිදු කිරීම මගින් මෙම අවධානම 1% දක්වා අඩු කළ හැකිය.)
ඡායාරූප අන්තර්ජාලයෙනි


කෙනෙකුට HIV ආසාදනය වුණාම ඒ බව එක පාරටම දැනෙන්නෙ නෑ. වෛරසය ශරීරගත වීමෙන් සති 6 කට විතර පස්සෙ හිසරදය, උගුරේ අමාරුව, වසා ගැටිති ඉදිමීම, උණ ඇති විය හැකියි කියල කියනවා. නමුත් එහෙම වෙන්නෙ HIV නිසා විතරක්ම නොවෙන නිසා හරියටම වෛරසය ආසාදනය වෙලා කියල ඒකෙන් කියන්න බැහැ. කරන්න තියෙන හොඳම දේ තමයි රුධිර පරීක්ෂාවක් කරගන්න එක. 

තමන්ට වෛරසය ආසාදනය විය හැකි තරමේ අවදානම් අවස්ථාවකට මුහුණ දුන්නට පස්සෙ ළගම මහරෝහලේ ලිංගාශ්‍රිත රෝග සායනයට ගිහිල්ල රුධිර පරීක්ෂණයක් නොමිලේ ම කරගන්න පුලුවන්. වැඩි විස්තර ඕනනං සේරම් පෙදෙසේ ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනෙන් දැනගන්න පුලුවන්. දුරකථන අංකය 011 2 667 163. 

කොහොම වුණත් පරිස්සම් වෙන එක හොඳයිනෙ?
අනිවාර්යයෙන්ම වෛරසය ශරීරගත වෙන්න කලින් පරිස්සම් වෙන එක හොඳයි. ඒකට කරන්න තියෙන්නෙ බොහොම සුලු ආරක්ෂක පියවර කිහිපයක් ගන්න එක විතරයි.
  • ලිංගික සම්බන්ධතා සඳහා විශ්වාසවන්ත එක් සහකරුවෙක්/සහකාරියක් පමණක් ඇසුරු කරන්න.
  • විවාහයෙන් බාහිර ලිංගික සම්බන්ධතා පවත්වන්නේ නම් ආරක්ෂිත උපක්‍රම (කොන්ඩම්) භාවිතා කරන්න.
  • රුධිර පරීක්ෂණ වලදී අලුත් සිරිංජ සහ එන්නත් කටු භාවිතා කරන ලෙස ඉල්ලා සිටින්න. (දැනට ශ්‍රී ලංකාවේ කිසිදු රෝහලක එන්නත් කටු නැවත භාවිතා නොකරයි)
  • මත්ද්‍රව්‍ය එන්නත් කරගැනීම, පච්ච කෙටීම ආදී සම සිදුරු කිරීම් වලින් වැලකී සිටින්න.
HIV ගැන පැතිරුණු දුර්මත ගණනාවක් තියෙනවා. එකක් තමයි හුළ‍ඟෙනුත් ඒඩ්ස් බෝවෙනවා කියන එක. ඇත්තටම HIV වලට සාමාන්‍ය පරිසරයේ ජීවත් වෙන්න බැහැ. ඒ නිසා හුළගෙන් HIV පැතිරෙන්න විදියක් නෑ. ඒ විතරක් නෙමෙයි සමට සම ස්පර්ෂ වුනා කියලා, අතට අත දුන්නා කියලා, වැළඳ ගත්තා කියලා, සිපගත්තා කියලා, එකම වැසිකිළියක් පාවිච්චි කළා කියලා ඒ විතරක් නෙවෙයි එකම වීදුරුවෙන් වතුර බිව්වත් HIV බෝවෙන්නෙ නෑ. 

ඒ වගේම කෙනෙක්ගෙ බාහිර පෙනුමෙන් HIV ආසාදිතයෙක් ද කියල නිගමනය කරන්න අමාරුයි. ඒ විතරක් නෙමෙයි වෙන ලිංගාශ්‍රිත රෝග වලින් පෙළෙන කෙනෙක් වුණත් HIV ආසාදිතයෙක් නොවෙන්න පුලුවන් වගේම වෙන ලිංගාශ්‍රිත රෝග නැති කෙනෙකුට වුණත් HIV ආසාදනය වෙලා තියෙන්නත් පුලුවන්.
ඡායාරූප අන්තර්ජාලයෙනි

ඒ කොහොම වුණත් කිසිම කෙනෙකුට බලෙන් මේ රෝගය බෝ කරවන්න හැකියාවක් නෑ. ඔබගේ ගෙදරට කවුරුහරි ආවොත් නොමිලේ රුධිර පරීක්ෂාවක් කරන්න ඒ අය අලුත් එන්නත් කටු (ජීවානුහරණය කරල පැකට් කරල තියෙන ඒවා) පාවිච්චි කරනවනං ඒවගෙන් ඔබට HIV ආසාදනය වෙන්නෙ නෑ. දැන් ශ්‍රී ලංකාවේ ප්‍රජා සෞඛ්‍ය සේවා ව්‍යාප්ත වෙමින් යන කාලයක්. රෝගියා  රෝහලට යනවා වෙනුවට වෛද්‍ය කණ්ඩායම් නිවෙස් වලට එන්න පුරුදු වෙමින් යනවා. ඒක බොහොම හොඳ ලක්ෂණයක්. ඒ නිසා ඒ වගේ දේවල් අධෛර්යමත් කරන එක හොඳ නැහැ. ඒ නිසා ඒ අයට කියන්න අලුත් එන්නත් කටු පාවිච්චි කරල රුධිර පරීක්ෂණය සිදු කරන්න කියල.

ඒ වගේම කාට හරි HIV ආසාදනය වෙලා නං එතනින් ජීවිතේ ඉවර වෙන්නෙ නෑ. නිසි ප්‍රතිකාර මගින්  HIV ආසාදිතයකුට AIDS තත්ත්වයට පත් නොවී දීර්ඝ කාලයක් ගත කල හැකියි. ඒ වගේම පූර්ණ නිදහස් ජීවිතයක් ගත කළ හැකියි. ඒ නිසා අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා හරි අනාරක්ෂිත රුධිරය හුවමාරු වන ක්‍රියාකාරකම් වල නිරත වෙලා තියෙනවනං හැකි ඉක්මනින් රුධිර පරික්ෂාවක් කරගන්න එක වැදගත්. මොකද දන්නෙම නැතුව AIDS තත්ත්වයට පත් වුණොත් ඔබේ ජිවිතය අනතුරේ වැටෙන්න පුලුවන්. එහෙනං ISIS කට්ටිය ආවට බය වෙන්න එපා.
ඡායාරූප අන්තර්ජාලයෙනි

මේ බ්ලොග් වසන්තයට ලියන දෙවෙනි ලිපිය. දකුණු පැත්තෙ ඉහළ කෙළවරේ ඡන්ද පොලට යන පාර තියෙනවා. 

විශේෂ ස්තුතිය - ඩෙන්වර් ට...

2 comments:

  1. මොනවා උනත් මේ වගේ කටකතා ව්‍යාප්ත වෙන එක ඔබ කියන ආකාරයේ ප්‍රජා සෞඛ්‍යය කටයුතු නැංවීමට බාදාවක්.. සෞඛ්‍ය අමාත්‍යාංශය මුල්වෙලා මේ ගැන පැහැදිලි දැනුවත්කිරීමක් කෙරෙනවානම් හොඳයි නේද

    ReplyDelete
  2. A very good article Pradeep. Thank you!

    ReplyDelete

ඔබට හිතෙන හැටිත් ලියල යන්න.