සහන සේවා වල යෙදෙන දයාබර ඔබ වෙනුවෙනි... ආපදා ආශ්‍රිත ආතතියෙන් මිදෙමු...

Tuesday, May 30, 2017
ගංවතුර ගම් බිම් යට කරමින් ගලා ගොස් තිබේ. ජීවිත සිය ගනනක් ද, මිල කල නොහැකි තරම් දේපල ද සැඩ පහරට හසුවිය. මියැදෙමින් සිටින ජීවිත එකින් එක බේරාගන්නට කැප වූ ස්වේච්ඡා සහන සේවකයන් සංඛ්‍යාව දහස් ගණනකි. ඔවුන් පුහුණු ගලවාගැනීමේ සෙබලුන් නොවේ. ආපදා අවස්ථා වලට මුහුණ දීමට පුහුණු කරනු ලැබූවන් ද නොවේ. එහෙත් අවස්ථාවට වඩාත්ම අවැසි දේ ඔවුන් අතින් ඉටු වෙයි. එවැනි විශාල හදවත් ඇති ස්වේච්ඡා තරුණ කණ්ඩායම් නොවන්නට මේ ආපදාවේ හානිය තව සිය ගුණයකින් වැඩි වන්නට ඉඩ තිබිනි. එහෙත් ආපදාව විසින් සහ ආපදාමය වටපිටාව විසින් සහන සේවකයන් වෙත කරනු ලබන බලපෑම ද සුලු පටු නොවේ. එබැවින් මේ අදහස් ටික සහන සේවා වල නිරත වෙමින් අමිල සේවාවක් ඉටු කරන ඔබ වෙනුවෙනි.

ආපදා අවස්ථා ස්වභාවයෙන්ම ආතතිකාරී ය. පීඩාවට පත් වූවන්ගේ දුක, අවදානම් වටපිටාව විසින් ඇති කරන බිය, බොහෝ විට සිදු විය හැකි කලබලකාරී සහ ආවේගශීලී තත්ත්වයන් සහ අධික වෙහෙස ඔබ වඩ වඩාත් ආතතියට ලක් කරනු ඇත. ආතතිය "නරක" දෙයක් නොවේ. කිසියම් මට්ටමක් දක්වා ඇති වන ආතතිය මගින් ඔබගේ අවධානය, වැඩ කිරීමේ හැකියාව සහ උනන්දුව වැඩි කරන අතර වෙහෙස පලවා හරිනු ඇත. එහෙත් එම සීමාව ඉක්මවා යාම ඔබ වෙහෙසකාරී, අවධානය අඩු, ඉක්මනින් කෝපයට පත් වන අයෙකු බවට පත් කරනු ඇත.

ඔබගේ හුරු පුරුදු පරිසරයෙන් ඉවත්ව ආපදාමය පරිසරයකට යාම සහ අඩු සම්පත් ප්‍රමාණයක් භාවිතා කිරීම, ස්වේච්ඡා සම්පත් දායකයකු බවට පත් වන මොහොතේම ඔබ අපේක්ෂා කරන නමුත් එය ඔබ තුල පෙර නොපැවති සරල ආතතියක් (Basic stress) ඇති කරනු ලබයි. එහෙත් කාලයත් සමග ඔබ එම වටපිටාවට හුරු වන විට එම ආතතිය මගහැරී යයි. එහෙත් සුලු ආතතිකාරී සිද්ධීන් (උදා: බලාපො‍රොත්තු කඩවීම, අපේක්ෂිත ප්‍රතිඵල නොලැබීම, අනපේක්ෂිත කරදර, බැනුම් අවලාද වගේ දේවල්) දිගින් දිගටම සිදු වීමේ දී Cumulative stress හෙවත් ටිකෙන් ටික ආතතිය එකතු වී බරපතල ආතතිකාරී තත්ත්වයකට පත් වීමට ඉඩ ඇත.  එමෙන්ම ආපදා අවස්ථාවක දී සහන සේවකයන් traumatic stress හෙවත් අප්‍රසන්න ආතතිය ඇති වෙන්න පුලුවන්. ඒකට හේතුව මරණ දැකීම, විශාල විනාශයන් දැකීමට ලැබීම, උදව් ඉල්ලන අවස්ථා වල උදව් කිරීමට හැකියාවක් නොමැති වීම වගේ දේවල්. 

ඒ නිසා සහන සේවා ආරම්භ කිරීමට කලිනුත්, සහන සේවා වල නිරත වෙන අතරතුර දී ත්, සහන සේවා අවසන් කලාට පස්සෙත් මේ ආතතිය අවම කරගන්න ඔබ විසින් ගත යුතු ක්‍රියාමාර්ග තිබෙනවා. මුලින්ම ආපදා සහන සේවා ආරම්භ කරද්දි මේ වගේ ආතතීන් ඇති වෙන්න පුලුවන් බව දැනගැනීමත්, ඒ සඳහා සූදානම් වීම ඉතා වැදගත්. ඒ වගේම ආතතිය කියන්නෙ නරක හෝ වැරදි දෙයක් නොවන බවත්, එය හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා ඉතා ප්‍රයෝජනවත් බවත් අවබෝධ කරගත යුතු වෙනවා. වැදගත්ම දේ ආතතිය ප්‍රමාණවත් මට්ටම ඉක්මවා යනවද කියන එක ගැන අවධානයෙන් ඉන්න එක. ඒ විතරක් නෙමෙයි, තමන්ගෙ හැකියාවන් මොනවද? තමන්ගෙ සීමාවන් මොනවද? කියන එක අවබෝධ කරගෙන ඒ අනුව කටයුතු කිරීමත්, ශරීරය විසින් ලබා දෙන පණිවිඩ (වෙහෙස, කුසගින්න වැනි) පිළිබඳ අවධානයෙන් සිටීමත් ඉතා වැදගත්.

සහන සේවා වල නිරත වෙන අතරතුර ආතතිය අවම කරගන්න නම් ඔබ ඔබ ගැනම විනයක් පවත්වා ගත යුතු වෙනවා. 
01) ඔබේ සීමාවන් දැනගෙන ඒ අනුව කටයුතු කරන්න (උදා: ගංවතුර පවතින ප්‍රදේශ වල කටයුතු කිරීමේදී තමාට ආරක්ෂා විය හැකි ජල මට්ටම ගැන අවබෝධයක් ඇති කරගැනීම)
එය එක පැත්තකින් ඔබේ ජීවිතය ආරක්ෂා කරගනිමින් වැඩි පිරිසකට සේවා සැපයීමට උදව්වක් වෙනවා. මොකද ස්වේච්ඡා සහන සේවා කටයුතු හැම කෙනෙකුටම කරන්න අමාරුයි. ඒ නිසා ඔබ රටට සම්පතක්. ඔබේ ජීවිතය රටට වටිනවා. ඒ නිසා ඔබේ ආරක්ෂිත සීමාවේ කටයුතු කරන්න. 
02) විවේක ගන්න
ශරීරය විසින් ඉල්ලා සිටින අවස්ථා වල ප්‍රමාණවත් විවේකයක් ගැනීම අත්‍යවශ්‍ය කරුණක්. ශරීරය විඩාවට පත් වෙන්නෙ විවේකය අවශ්‍ය වුණාම. ඒ වෙලාවට ටිකක් විවේකීව ඉඳලා ආයෙ වැඩි ශක්තියකින් වැඩ කරන්න උත්සාහ කරන්න. 
03) ප්‍රමාණවත් නින්දක් ලබාගන්න
නින්ද ඕනෑම කෙනෙකුට අවශ්‍ය දෙයක්. මොකද ශරීරයේ ගෙවී යන කොටස් නැවත සකස් වෙන්නෙ නින්දේ දි. ඔබ නිදි නොලබා වැඩ කලොත් ඔබට වැඩි කාලයක් වැඩ කරන්න ලැබෙන්නෙ නෑ. නමුත් ඔබ ප්‍රමාණවත් නින්දක් ලබා ගනිමින් වැඩ කලොත් වැඩි කාලයක් වැඩි පිරිසකට සේවය කරන්න අවස්ථාව ලැබෙයි. 
04) වෙලාවට කන්න
සමහරවිට ඔබට කෑමට ලැබෙන්නෙ බනිස් ගෙඩියක් වෙන්න පුලුවන්. නමුත් බඩගිනි වෙලාවට ඒක කන්න. ඔබ කෑමට වැය කරන විනාඩි 3-4 නිසා ඔබේ ආතතිය සෑහෙන දුරකට අඩු කරන්න පුලුවන්. ඒ නිසා උදේ ගෙදරින් එලියට බහින්න කලින් බඩ පිරෙන්න කාල යන්න. අතරතුරදි කෙටි ආහාරයක් හරි ලබාගන්න උත්සාහ කරන්න. මොකද බඩගින්නෙ ඉද්දි ගොඩක් තරහ යනවා. ඒ කියන්නෙ ඔබේ ආතතිය වැඩි වෙනව කියන එක.
05) මත්ද්‍රව්‍ය ගන්න එක අඩු කරන්න/නවත්වන්න.
මත්ද්‍රව්‍ය නිසා ආතතිය වැඩි වෙනව කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයිනෙ.
06) සැහැල්ලු වීමට වෙලාවක් යොදාගන්න.
සමහර විට ගැඹුරු හුස්මක් ගන්න එක වෙන්න පුලුවන්, සින්දුවක් අහන එක වෙන්න පුලුවන්, එහෙමත් නැත්නම් කට්ටිය එක්ක පොඩි කයියක් ගහන එක වෙන්න පුලුවන්. ඔබට අවස්ථාවෙ හැටියට සැහැල්ලු වෙන්න පුලුවන් ඕනැම ක්‍රියාකාරකමක් කරන්න පොඩි වෙලාවක් යොදාගන්න.
07) කණ්ඩායම එක්ක එකට වැඩ කරන්න.
තනියම වැඩ කරනවට වඩා කණ්ඩායමක් එක්ක වැඩ කරන එක ආරක්ෂිතයි, ඒ වගේම ආතතිය අඩුයි. 

ඔබට හිතුනොත් මම ආතතියෙන් ඉන්නෙ කියල, මොකද කරන්න ඕන?
නිතර තරහ යනවනං, වැඩ කරන්න එපා වෙලා නං, කණ්ඩායමේ අනිත් අය රුස්සන්නෙ නැත්නං, නින්ද හොරයි නං ඔබගේ ආතතිය ටිකක් වැඩි වෙලා වෙන්න පුලුවන්. ඒ වගේ වෙලාවට;
01) ආතතිය ඇති කරන හේතුව හඳුනාගන්න. 
- කණ්ඩායමේ ගැටලුවක්ද?
- වැඩ කරන විදියෙ ගැටලුවක්ද?
- පුද්ගලික ගැටලුවක්ද?
ඔය වගේ තමන්ගෙ ආතතිය වැඩි කරන ගැටලුව හඳුනාගන්න එකම ආතතිය යම් පමණකින් අඩු කරනවා.

02) ඔබේ ගැටලුව ගැන කණ්ඩායමේ සමීපතමයන් සමග කතා කරන්න.
බොහෝවිට ඒ අය ඔබට උදව් කරයි.

03) ආතතිය අඩු කරගන්න කරන්න පුලුවන් දේවල් ගැන හිතන්න.
- කණ්ඩායම මාරු කරන එක
- දවසක් දෙකක් වැඩ වලින් ඈත් වෙලා ඉන්න එක
- පවුලේ අය එක්ක සමීපව කටයුතු කරන එක

ඔබ ආතතියෙන් පෙළෙනවා කියල හිතෙනව නං;
- ඔබ යහපත් තත්ත්වයෙන් හිටියොත් තමා අනිත් අයට උදව් කරන්න පුලුවන් කියල මතක තියාගන්න.
- ආතතිය කියන්නෙ විවිධ අවස්ථා අනුව අඩු වැඩි වෙන්න පුලුවන් සාමාන්‍ය තත්ත්වයක් කියන එක අවබෝධ කරගන්න.
- ආතතිය වැඩි කරන දේවල් වලින් ටිකකට ඈත් වෙන්න. (වැඩි වගකීම්, වැඩි වැඩ, අකමැති අය වගේ)
- ටිකක් විවේක ගන්න
- හිත හැදෙන්න දවසක් දෙකක් දෙන්න
- තමන්ට ආදරය කරන අය එක්ක කාලය ගත කරන්න

ඒත් විසඳුමක් නැත්නම්;
උපදේශකවරයෙක් හමු වෙන්න. ඔබට අමතර සහයක් අවශ්‍ය විය හැකියි.

මතක තබාගන්න;
ඔබ හොඳින් හිටියොත් තමයි අනිත් අයට උදව් කරන්න පුලුවන් වෙන්නෙ.

- ජාත්‍යන්තර රතුකුරුස කමිටුව විසින් නිකුත් කල Humanitarian action and armed conflict - Coping with stress අත්පොත ඇසුරිනි (1992)
Read more ...

රුධිර පරීක්ෂණ හරහා ඒඩ්ස් බෝ කිරීම

Thursday, May 4, 2017
ලෝකයේ වෛද්‍ය විද්‍යාව කොයි තරම් දියුණු වුණත් සමහර රෝග වලට ප්‍රතිකාර හොයාගන්න වෛද්‍ය විද්‍යාවට තවමත් හැකියාව ලැබිල නැහැ. ඒ විදියට ප්‍රතිකාර හොයාගන්න බැරි වුණ එක රෝගාබාධ කොටසක් තමයි ඇතැම් වෛරස් රෝග. එයින් එකක් තමයි HIV, එහෙමත් නැත්නම් මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය කියල කියන්නෙ. මොකක්ද මේ HIV කියල කියන්නෙ? HIV කියන එකයි AIDS කියන එකයි දෙකම එකද? මේ ගැන පොඩ්ඩක් හොයන්න හිතු‍නෙ අද ආපු මෙන්න මේ පණිවිඩය නිසා.

//හදිසි අනතුරු හැඟවීමයි!
ඔබේ නිවසට පැමිණ නොමිලේ ඔබේ ලේ පරීක්ෂා කර දෙනවා යයි කිසිවෙක් කීවොත් වහාම ඔහුව හෝ ඇයව පොලීසියට හසු කර දෙන්න. ඉන්සියුලින් කියා එච්. අයි.වී. ඒඩ්ස් රෝගය සහිත වයිරසය ඔබේ ශරීර ගත කිරීමට අයි එස් අයි එස් සංවිධානයෙන් එවූ නියෝජිතයෙක් විය හැක. ඔවුන් පවසන්නේ විශ්ව විද්‍යාලයකින් හෝ රාජ්‍ය ආයතනයකින් කියා වුවත් විශ්වාස නොකරන්න. මෙය හැකි ඉක්මනින් හැකි තරම් ඔබේ මිතුරන් දැනුවත් කරන්න. නිවෙස් වල වැඩිහිටියන් විශේෂයෙන් දැනුවත් කර තබන්න.// 


ඡායාරූප අන්තර්ජාලයෙනි
මේ පළවෙනි වතාව නෙමෙයි. මීට පෙර අවස්ථා ගණනාවක්ම විවිධ ආකාර වලින් ඒඩ්ස් රෝගය බෝ කරන්න උත්සාහ කරනව කියල ප්‍රචාරයන් පැතිර ගියා. ඒවට බය වුණ අයත් හිටියා. එහෙම බය වෙන එකේ අසාධාරණයක් නෑ. මොකද ඇත්තටම සමහර වසංගත රෝග බලෙන් බෝ කරල මිනිසුන් විනාශ කිරීම සමහර ත්‍රස්ථ සංවිධාන කරන දෙයක්. උදාහරණයක් විදියට ගත්තොත් කාලයක් Anthrax කියන බැක්ටීරියාව ඇමෙරිකාවේ මර්මස්ථාන වලට තැපැල් මගින් යවපු අවස්ථා තිබුණා. ඒ විදියටම ත්‍රස්ථවාදීන්ට අවශ්‍ය නම් ඒඩ්ස් බෝ කරල මරන්නත් පුලුවන් ඇති කියල කෙනෙකුට හිතෙන්න පුලුවන්.

මොකක්ද AIDS කියන්නෙ? 
acquired immunodeficiency syndrome (AIDS) කියල කියන්නෙ මානව ප්‍රතිශක්ති ඌනතා සහලක්ෂණය. මේ රෝගය හැදෙන්නෙ HIV - Human Immunodeficiency Virus (මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය) ආසාදනය වීමෙන්. හැබැයි සෙම්ප්‍රතිශ්‍යා වෛරසය ආසාදනය වෙලා පැය ගණනාවකින් රෝග ලක්ෂණ පහළ වෙනව වගේ HIV ආසාදනය වුණ කෙනෙක් AIDS රෝගියෙක් බවට පත් වෙන්නෙ නෑ. වෛරසය ආසාදනය වෙලා අවුරුදු 10 ක් හෝ ඊට වැඩි කාලයකට පස්සෙ තමයි ආසාදිතයා AIDS රෝගියෙක් බවට පත් වෙන්නෙ. නමුත් HIV ආසාදනය වෙලා සතියක් විතර යනකොට රුධිර පරීක්ෂණයක් මගින් වෛරසය ආසාදනය වෙලාද කියල දැනගන්න පුලුවන්.

කොහොමද HIV බෝ වෙන්නෙ?
ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. 

  1. අනාරක්ෂිත ලිංගික සංසර්ගයක් මගින් (ආසාදිතයකුගේ ලිංගික ස්‍රාවයන් වෙනත් අයෙකුගේ ලිංගික අවයව , මුඛය හෝ ගුද මාර්ගයේ ආස්තරන පටක වෙත ස්පර්ශවීමෙන්)
  2. රුධිර හෝ එහි නිෂ්පාදන මගින් (ශිරාගත කර ගනු ලබන මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් වැනි හවුලේ එන්නත් කටු ආදිය භාවිතා කරන්නන් සහ රුධිර පාරවිලයනයට ලක්වන රෝගීන් වැනි අය. එහෙත් ශ්‍රී ලංකාවේ රුධිර පාරවිලයනයේදී HIV සදහා පරීක්ෂා කිරීම මගින් එහි අවදානම අවම කරගෙන ඇත.)
  3. ආසාදිත ම‍වගෙන් දරුවාට ( වෛරස මවගෙන් දරුවාට ගමන් කිරීම කුස තුළ දී, දරු ප්‍රසූතිය සිදුවන අවස්ථාවලදී හෝ මව් කිරි දීමේදී සිදුවිය හැකිය. මෙලෙස රෝග ව්‍යාප්ත වීමේ හැකියාව 25% කි. ප්‍රති වෛරස ඖෂධ හෝ සිසේරියන් සැත්කමක් සිදු කිරීම මගින් මෙම අවධානම 1% දක්වා අඩු කළ හැකිය.)
ඡායාරූප අන්තර්ජාලයෙනි


කෙනෙකුට HIV ආසාදනය වුණාම ඒ බව එක පාරටම දැනෙන්නෙ නෑ. වෛරසය ශරීරගත වීමෙන් සති 6 කට විතර පස්සෙ හිසරදය, උගුරේ අමාරුව, වසා ගැටිති ඉදිමීම, උණ ඇති විය හැකියි කියල කියනවා. නමුත් එහෙම වෙන්නෙ HIV නිසා විතරක්ම නොවෙන නිසා හරියටම වෛරසය ආසාදනය වෙලා කියල ඒකෙන් කියන්න බැහැ. කරන්න තියෙන හොඳම දේ තමයි රුධිර පරීක්ෂාවක් කරගන්න එක. 

තමන්ට වෛරසය ආසාදනය විය හැකි තරමේ අවදානම් අවස්ථාවකට මුහුණ දුන්නට පස්සෙ ළගම මහරෝහලේ ලිංගාශ්‍රිත රෝග සායනයට ගිහිල්ල රුධිර පරීක්ෂණයක් නොමිලේ ම කරගන්න පුලුවන්. වැඩි විස්තර ඕනනං සේරම් පෙදෙසේ ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනෙන් දැනගන්න පුලුවන්. දුරකථන අංකය 011 2 667 163. 

කොහොම වුණත් පරිස්සම් වෙන එක හොඳයිනෙ?
අනිවාර්යයෙන්ම වෛරසය ශරීරගත වෙන්න කලින් පරිස්සම් වෙන එක හොඳයි. ඒකට කරන්න තියෙන්නෙ බොහොම සුලු ආරක්ෂක පියවර කිහිපයක් ගන්න එක විතරයි.
  • ලිංගික සම්බන්ධතා සඳහා විශ්වාසවන්ත එක් සහකරුවෙක්/සහකාරියක් පමණක් ඇසුරු කරන්න.
  • විවාහයෙන් බාහිර ලිංගික සම්බන්ධතා පවත්වන්නේ නම් ආරක්ෂිත උපක්‍රම (කොන්ඩම්) භාවිතා කරන්න.
  • රුධිර පරීක්ෂණ වලදී අලුත් සිරිංජ සහ එන්නත් කටු භාවිතා කරන ලෙස ඉල්ලා සිටින්න. (දැනට ශ්‍රී ලංකාවේ කිසිදු රෝහලක එන්නත් කටු නැවත භාවිතා නොකරයි)
  • මත්ද්‍රව්‍ය එන්නත් කරගැනීම, පච්ච කෙටීම ආදී සම සිදුරු කිරීම් වලින් වැලකී සිටින්න.
HIV ගැන පැතිරුණු දුර්මත ගණනාවක් තියෙනවා. එකක් තමයි හුළ‍ඟෙනුත් ඒඩ්ස් බෝවෙනවා කියන එක. ඇත්තටම HIV වලට සාමාන්‍ය පරිසරයේ ජීවත් වෙන්න බැහැ. ඒ නිසා හුළගෙන් HIV පැතිරෙන්න විදියක් නෑ. ඒ විතරක් නෙමෙයි සමට සම ස්පර්ෂ වුනා කියලා, අතට අත දුන්නා කියලා, වැළඳ ගත්තා කියලා, සිපගත්තා කියලා, එකම වැසිකිළියක් පාවිච්චි කළා කියලා ඒ විතරක් නෙවෙයි එකම වීදුරුවෙන් වතුර බිව්වත් HIV බෝවෙන්නෙ නෑ. 

ඒ වගේම කෙනෙක්ගෙ බාහිර පෙනුමෙන් HIV ආසාදිතයෙක් ද කියල නිගමනය කරන්න අමාරුයි. ඒ විතරක් නෙමෙයි වෙන ලිංගාශ්‍රිත රෝග වලින් පෙළෙන කෙනෙක් වුණත් HIV ආසාදිතයෙක් නොවෙන්න පුලුවන් වගේම වෙන ලිංගාශ්‍රිත රෝග නැති කෙනෙකුට වුණත් HIV ආසාදනය වෙලා තියෙන්නත් පුලුවන්.
ඡායාරූප අන්තර්ජාලයෙනි

ඒ කොහොම වුණත් කිසිම කෙනෙකුට බලෙන් මේ රෝගය බෝ කරවන්න හැකියාවක් නෑ. ඔබගේ ගෙදරට කවුරුහරි ආවොත් නොමිලේ රුධිර පරීක්ෂාවක් කරන්න ඒ අය අලුත් එන්නත් කටු (ජීවානුහරණය කරල පැකට් කරල තියෙන ඒවා) පාවිච්චි කරනවනං ඒවගෙන් ඔබට HIV ආසාදනය වෙන්නෙ නෑ. දැන් ශ්‍රී ලංකාවේ ප්‍රජා සෞඛ්‍ය සේවා ව්‍යාප්ත වෙමින් යන කාලයක්. රෝගියා  රෝහලට යනවා වෙනුවට වෛද්‍ය කණ්ඩායම් නිවෙස් වලට එන්න පුරුදු වෙමින් යනවා. ඒක බොහොම හොඳ ලක්ෂණයක්. ඒ නිසා ඒ වගේ දේවල් අධෛර්යමත් කරන එක හොඳ නැහැ. ඒ නිසා ඒ අයට කියන්න අලුත් එන්නත් කටු පාවිච්චි කරල රුධිර පරීක්ෂණය සිදු කරන්න කියල.

ඒ වගේම කාට හරි HIV ආසාදනය වෙලා නං එතනින් ජීවිතේ ඉවර වෙන්නෙ නෑ. නිසි ප්‍රතිකාර මගින්  HIV ආසාදිතයකුට AIDS තත්ත්වයට පත් නොවී දීර්ඝ කාලයක් ගත කල හැකියි. ඒ වගේම පූර්ණ නිදහස් ජීවිතයක් ගත කළ හැකියි. ඒ නිසා අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා හරි අනාරක්ෂිත රුධිරය හුවමාරු වන ක්‍රියාකාරකම් වල නිරත වෙලා තියෙනවනං හැකි ඉක්මනින් රුධිර පරික්ෂාවක් කරගන්න එක වැදගත්. මොකද දන්නෙම නැතුව AIDS තත්ත්වයට පත් වුණොත් ඔබේ ජිවිතය අනතුරේ වැටෙන්න පුලුවන්. එහෙනං ISIS කට්ටිය ආවට බය වෙන්න එපා.
ඡායාරූප අන්තර්ජාලයෙනි

මේ බ්ලොග් වසන්තයට ලියන දෙවෙනි ලිපිය. දකුණු පැත්තෙ ඉහළ කෙළවරේ ඡන්ද පොලට යන පාර තියෙනවා. 

විශේෂ ස්තුතිය - ඩෙන්වර් ට...
Read more ...