නාය නොගිය ජීවිත වලට අත්වැලක් වෙමු...

Saturday, April 15, 2017
ප්‍රදීප්ගේ පිටුව බ්ලොග් අඩවිය අභූත චෝදනා වලට ලක් වෙලා ටික දවසකින් සම්පූර්ණයෙන්ම අහිමි වුණාට පස්සෙ 2015 බ්ලොග් වසන්තය වෙනුවෙන් "හිතෙන හැටි" පටන් අරන් මේ මාසෙ දෙවෙනිදට අවුරුදු දෙකක්. නැවතත් බ්ලොග් එකක් පටන්ගැනීමේ ගෞරවය හිමි වෙන්නෙ හැමදාම කියනව වගේ බ්ලොග් වසන්තට. ගිය අවුරුදු දෙකේම ලියල තියෙන්නෙ අවුරුද්දට පෝස්ට් හතර ගානෙ. මොනව කරන්නද? මේ අවුරුද්දෙ ටිකක් වැඩියෙන් ලියන්නයි අදහස.

මේ බක් මාසෙ. අලුත් අවුරුද්දක් උදා වෙලා. හැමෝම අවුරුද්දේ සතුට සමරමින් ඉන්න වෙලාව. කොළඹටත් ගමටත් අවුරුද්දේ උණුසුම එක විදියට දැනෙමින් තිබුණෙ. හරියටම අවුරුදු දවසෙ, එදාම තමයි මහ සිකුරාදත් යෙදිල තිබුණෙ, එකපාරටම දහම්පුර පැත්තෙ ගෙවල් ගණනාවක් යට කරගෙන මීතොටමුල්ලෙ කුප්‍රකට කුණු කන්ද නාය යන්න පටන්ගත්ත. මේ ලියන මොහොත වෙනකොට මළ සිරුරු 16 ක් හමු වෙලා. නිවාස 145 ක පවුල් 180 ක් විපතට පත් වෙලා. කොලොන්නාව  ටෙරන්ස් විදුහලේ 1080 දෙනෙක් නැවතිලා ඉන්නවා. තවත් නිවාස 130 ක පදිංචිකරුවන් නිවාස වලින් ඉවත් කරන්න සැලසුම් කරල. 

මේ සිද්ධ වුණේ අවුරුද්දක් ඇතුලත ශ්‍රී ලංකාවේ සිදු වුණ හතර වෙනි ආපදා තත්ත්වය. ගිය අවුරුද්දෙ මැයි මාසෙ ආපදාවන් තුනක් සිද්ධ වුණා. දෙකක් ස්වභාවික ආපදා. එකක් අනතුරක්. දවසින් දවස ස්වභාවික ආපදා සහ මිනිසා විසින් ඇතිකරන ආපදා තත්ත්වයන් වැඩි වෙමින් පවතිනවා. බ්‍රසල්ස් නගරය පදනම් කරගත් Centre for Research on the Epidemiology of Disasters කියන විදියට 1980 න් පසුව ලෝකයේ ස්වභාවික ව්‍යසන සිදු වීමේ සීඝ්‍රතාව 400 ගුණයකින් වැඩි වෙලා. මේ වගේ අවස්ථා ඇති වෙන එක හැකි තරම් වලක්වා ගන්න එක තමයි කරන්න තියෙන හොඳම දේ. නමුත් ආපදාවන් සිද්ධ වෙන්නෙ කලින් කියල නෙමෙයි. එ් නිසා ඕනෑම ආපදාවකදි කවුරු හරි විපතට පත් වෙනවා.

ඒ වගේ අවස්ථා වල අපි කරන්නෙ පුලුවන් තරම් කෑම වර්ග, වතුර බෝතල්, සනීපාරක්ෂක උපකරණ වගේ දේවල් ඒ අයට ගෙනිහිං දෙන එක. අනුන්ගේ දුකේ දී හදවත් උණු වෙන ජනතාවක් විදියට අපි ඒ කරන දේ වැරදි නැහැ. හැබැයි ඒ භෞතික වශයෙන් අවශ්‍ය වෙන දේවල් ලබා දෙනව වගේම ඒ අයට අවශ්‍ය වෙන මනෝ සමාජීය සහය ලබා දෙන එකත් වැදගත් වෙනවා. මොකද අවතැන් වෙලා ඉන්න හැම කෙනෙක්ටම කාවහරි, එහෙමත් නැත්නම් මොනව හරි අහිමි වෙලා. සමහරවිට කෙනෙකුට කන්න බොන්න නැතත් කමක් නෑ මගෙ දුක කියන්න කෙනෙක් ඉන්නවනං කියල හිතෙන්න පුලුවන්. ඒ වගේ අයට උදව් කරන්න වෙන්නෙත් අපි අපිටම තමයි. ඒ නිසා මේ පුංචි උත්සාහය හෙට අනිද්ද විපතට පත් වුණ අය බලන්න යන අයට මේ විශාල අවශ්‍යතාවය ඉටු කරන්න පොඩි දැනුමක් ලබා දෙන්න. ඒකට අපි කියන්නෙ "මනෝ සමාජීය ප්‍රථමාධාර" කියල.  මේ ප්‍රථමාධාරය කරන්න විශේෂ ප්‍රථමාධාර පුහුණුවක් අවශ්‍ය වෙන්නෙ නෑ. කරන්න තියෙන්නෙ අපි එදිනෙදා ඔය වගේ ආපදාවකදි කරන දේවල් ටිකක් පිළිවෙලට කරන එක විතරයි.


01. සූදානම් වන්න
ආපදාව සිදු වෙලා තියෙන තැනට යන්න කලින් සිද්ධ වෙලා තියෙන්නෙ මොකක්ද? ඒකේ බලපෑමට ලක් වෙලා ඉන්න අය කව්ද? දැනට සපයන සේවාවන් මොනවද? වගේ වැදගත් කරුණු ගැන හොඳ අවබෝධයක් ඇතිව යන එක බොහොම වැදගත්. වැදගත්ම දේ තමයි ආරක්ෂාව. තවමත් ආපදා තත්ත්වය සිදු වෙමින් පවතිනවනම් ඒ සඳහා ගත යුතු ආරක්ෂක පියවර ගැන දැනුවත් වෙන එකත් අත්‍යවශ්‍ය කාරණයක්. මොකද එතැනදි ඔබව අනතුරට ලක් වුණොත් එය ඔබටත්, අනිකුත් සහන කණ්ඩායම් වලටත් අනවශ්‍ය කරදර ඇති කිරීමක් වෙනවා. ඒ වගේම ඔබට ඒ වටපිටාවට ඇතුල් වෙන්න අවශ්‍ය අවසර තියෙනවද කියල දැනගන්න එකත් ඉතාම වැදගත් වෙනවා. 

02. නිරීක්ෂණය කරන්න 
ඔබ එතැනට ගියාට පස්සෙ ඔබ ඉන්න තැන ආරක්ෂිතදැයි බලන්න. ඊට පස්සෙ හදිසි සහය අවශ්‍ය අය ඉන්නවද කියල හොයල බලන්න. 

  • හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු දරුණු තුවාල සහිත පුද්ගලයන්, 
  • තමාව හරි තමන්ගේ දරුවන් හරි රැක බලා ගන්න බැරි තරමේ ව්‍යාකූල තත්ත්වයේ ඉන්න පුද්ගලයන්,
  • තමන්ටම හානි කර ගැනීමට ඉඩ තියෙන පුද්ගලයින් සහ 
  • අනිත් අයට හානි කිරීමට ඉඩ තියෙන පුද්ගලයින් 
තමයි හදිසි සහය අවශ්‍ය අය කියල කියන්නෙ. මේ අයට උදව් කරන්න ඔබට වඩා වැඩි දැනුමක් තියෙන අය අවශ්‍ය වෙන්න පුලුවන්. ඒ නිසා නිසි වෛද්‍ය කණ්ඩායම් වෙත මේ අය හැකි ඉක්මනින් යොමු කරන එක වැදගත්.

03. අසන්න
සහය අවශ්‍ය විය හැකි අය වෙත ළඟා වෙන්න. එයාලගෙ අවශ්‍යතා ගැන විමසන්න. එයාලගෙන් බලෙන් අහන්න යන්න එපා. කැමතිනම් විතරක් කතා කරන්න අවස්ථාව ඇති බව පැහැදිලි කරල දෙන්න. කතා කරන්න කලින් ඔබව හඳුන්වා දෙන්න. හැකිතාක් පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කරන්න. ඔබ කලබල වීමෙන් විපතට පත් වූ පුද්ගලයා තවත් කලබලයට පත් විය හැකියි. ඒ නිසා සන්සුන්ව සිටින්න. ඔහු හෝ ඇය ආරක්ෂිතනම් පමණක් ඒ බව ඔවුන්ට මතක් කර දෙන්න. ඔහු හෝ ඇය තනි වී නැති බව දැනෙන්නට ඉඩ හරින්න.

04. සම්බන්ධ කරන්න
ඔවුන්ගේ අවශ්‍යතා සපුරාගැනීමට අවශ්‍ය සේවාවන් වෙත ඔවුන් යොමු කරන්න. ගැටලු කළමණාකරනය කරගැනීමට ඔවුන්ට සහය වන්න. නිවැරදි තොරතුරු පමණක් ලබා දෙන්න. 

මේ සරළ පියවර හතර අනුගමනය කිරීමෙන් පමණක් විපතට පත් වූවන්ට අවශ්‍ය මනෝ සමාජීය සහය ඔබට ලබා දිය හැකියි. ඒ සෑම විටම අදාළ පුද්ගලයාගේ ආරක්ෂාව, ආත්මාභිමානය සහ අයිතිවාසිකම් වලට ගරු කිරීමත්, අදාළ ආපදා අවස්ථාවේ සපයන වෙනත් සේවාවන් පිළිබඳ දැනුවත්ව සිටීමත්, තමන්ගේ ආරක්ෂාව පිළිබඳ සැළකිලිමත් වීමත් මනෝ සමාජීය ප්‍රථමාධාර ලබා දීමේදී අත්‍යවශ්‍ය වෙනවා. 

2016 වසරේ ‍ලෝක මානසික සෞඛ්‍ය දිනයේ තේමාව විදියට යොදාගත්තෙත් මනෝ සමාජීය ප්‍රථමාධාර. ඒ තරම්ම මේ දැනුම අපිට වැදගත්. IASC (2007) ට අනුව අවම වශයෙන් පුද්ගලයන් සිය දෙනෙකුගෙන් එක්කෙනෙක් මනෝ සමාජීය ප්‍රථමාධාර ගැන දැනුවත්ව සිටිය යුතු වෙනවා. මාත් ඇතුලුව දැනට ලංකාවේ පුහුණුව ලැබූ මනෝ සමාජීය ප්‍රථමාධාරකරුවන් ගණනාවක් සෞඛ්‍ය අමාත්‍යංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයට අනුබද්ධිතවත්, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට අනුබද්ධිතවත්, වෙනත් රාජ්‍ය සහ ස්වේච්ඡා සංවිධාන වලට සම්බන්ධ වෙලත් ඉන්නවා. සිංහල භාෂාවට පරිවර්තනය කරල තියෙන ක්ෂේත්‍ර ක්‍රියාකාරීන් සඳහා වන උපදෙස් මාලාව මෙතනින් බාගත කරගන්න පුලුවන්. කාට හරි හිතෙනවනං මේ ගැන විධිමත් පුහුණුවක් ලබාගත්තොත් හොඳයි කියල අපිට පුලුවන් උදව් කරන්න. තවත් තොරතුරු මේ වෙබ් අඩවියෙන් ලබාගන්නත් පුලුවන් 

හෙට ඉඳල මීතොටමුල්ලෙ අවතැන් වුණ අයට උදව් කරන්න යනකොට මේ පියවර හතර ගැනත් අවධානය යොමු කරන්න. උදා වූ නව වසර මේ වගේ ආපදාවන් වලින් තොර වසරක් වේවා....!

3 comments:

  1. උදාවූ නව වසර මේ වගේ ආපදා වලින් තොර වේවා !!
    ඉතා වටිනා ලියමනක්.. මෙතෙක් කල් ගිය හැම තැනකදීම වගේ දැක්ක අඩුපාඩුවක් තමයි උදව් කරන්න යන අය හා ආපදාවන්ට ලක්වූ අය අතර පරතරයක් හදාගෙන ඔවුන් තවත් මානසිකව පීඩාවට පත් කරන එක..

    ReplyDelete

ඔබට හිතෙන හැටිත් ලියල යන්න.