මල් සිටුවීම තහනම් කිරීම...

Sunday, August 21, 2016

ටිකක් දිග පෝස්ට් එකක් නිසා කොටස් දෙකකට කඩලා ලියන්න හිතුවෙ. ඒත් පළවෙනි කොටස විතරක් දාපුවාම මේක මොන විකාරයක් ද කියල කීප දෙනෙකුටම හිතිල තිබුණා. ඒ නිසා ඒක අයින් කරල මුළු පෝස්ට් එකම එකපාර දැම්මා.

ඔන්න බොහොම කාලයකට ඉස්සර එක්තරා රටක හිටපු පාලකයො ඒ රටේ කිසිම තැනක "මල් ඇට" හිටවන එක තහනම් කළා. මල් ඇට කියන්නෙ කිසිම කමකට නැති ජාතියක් ය, මල් පිපුණට ඒවා ආහාර නිෂ්පාදනය කරන්නෙ නැත,  ඒවා අනිත් "ඵලදායී" ගස් වලට තියෙන පෝෂණය පරිභෝජනය කරන නිසා ඵලදායී ගස් වල පෝෂණය අඩු  වෙනවා ය ආදී වශයෙන් ඒ තීරණය සාධාරණීකරණය කරන්න විවිධ අදහස් ජනමාධ්‍ය වලින් ප්‍රචාරය වෙන්න පටන් ගත්තා. මල් ඇට වලට වත්, මල් ගස් වලට වත් ඒ තීරණයට විරුද්ධව කතා කරන්න තරං හයියක් තිබුණෙ නෑ. කොටින්ම කිව්වොත් හදල තිබුණ ප්‍රතිරූපය නිසා මල් ගස් වුනත් තමන් කමකට නැති කොටසක් කියල හිතන්න පටන් අරං තිබුණා.

සමාජයට වුනෙත් ඒ ටිකමයි. ටිකෙන් ටික මල් ගස් සමාජයෙන් කොන් කරන්න පටන් ගත්තා. මල් ඇට "වෙනස් කොට සැළකීමට" භාජනය වෙන්න පටන් ගත්තා. මල් ගහක් දැකපු ගමන් කපල දාන්න ගොවි මහත්තුරු දෙපාරක් හිතුවෙ නෑ. කලාතුරකින් ඵලදායී තැනක වැටුණු මල් ඇටයක් ඇරෙන්න අනිත් මල් ඇට පැළ නොවී අකාලයේ විනාශ වෙලා යන්න පටන් ගත්තා. ටික ටික පරිසරයේ මල් ගස් හිඟ වුනා. ටික ටික මල් ගස් තහනම සමාජ සම්මතයක් බවට පත් වෙනකොට මල් ගහක් තිබුණ ගෙවල් පවා කොන් කිරීමට භාජනය වෙන්න පටන් ගත්තා. ඒ නිසා ආසාවෙන් මල් වවපු ගෑණු ළමයි මල් වවන එක නවත්තල දැම්මා. අවුරුදු ගානක් යනකොට මල් වැවීම පවක් කියල ළමයින්ට කියල දෙන සංස්කෘතියක් ඇති වුණා. වත්තක මල් ගහක් හැදුනොත් ඒක ඒ පවුලෙ අයගෙ පාපයක් විදියට හඳුන්වන්න ගත්තා. මල් ගහ තියෙන ගෙදර කිව්වාම මිනිස්සු පිළිකුලෙන් බලන එක සාමාන්‍ය දෙයක් බවට පත් වුනා.

ඔන්න ඔහොම කාලයක් ගත වෙලා මල් ඇට හිටවන එක තහනම් කරපු පනත දැකලවත් නැති හතර වෙනි පරම්පරාවෙ කීප දෙනෙක් මල් ඇට සහ මල් පැළ වලට විරුද්ධව ක්‍රියාත්මක වෙන මේ කොන් කිරීම අසාධාරණ බව තේරුම් ගත්තා. තේරුම් අරගෙන ඒ ගැන කතා කරන්න පටන් ගත්තා. ඒ එක්කම මල් ඇට වල අයිතිවාසිකම් උල්ලංඝනය වෙනව ය, ඒ අයටත් අනිත් ගස් හා සමාන අයිතිවාසිකම් හිමි විය යුතුය, කියල තව තව තැන් වලින් පොඩි පොඩි අදහස් මතු වුණා. මල් ඇට තහනම් කරපු නීතියට වඩා සමාජ සම්මතයක් විදියට ගොඩනැගුණු මල් ගස් කොන් කිරීමේ සංකල්පයේ ම එළඹිලා හිටපු වැඩිහිටියෝ ඒ කීප දෙනාගෙ අදහස් එතනම විනාශ කරල දැම්මා. ඔය විදියට කාලයක් ගත වුණත් මල් ඇට වලට නිසි තැන කවදාවත්ම ලැබුණෙ නෑ.

තවත් කාලයක් ගිහිල්ලා මල් ඇට විනාශ වෙන හැටි බලාගෙන ඉන්න බැරි කට්ටිය කීප දෙනෙක් එකතු වෙලා තැන් තැන් වල මල් ඇට තවාන් කරලා ආරක්ෂා කරන්න පටන් ගත්තා. ගොඩක් පරණ නීතිය ඒ වෙනකොට ක්‍රියාත්මක නොවුනට නීතිය විසින් ඇති කරපු සමාජ අපවාදය නිසා මේ මල් තවාන් කරන අය පව්කාරයො විදියටයි සමාජය දැක්කෙ. හැබැයි එයාලට උදව් කරන අයත් කීප දෙනෙක් නොහිටියා නෙමෙයි. ඒ උදව් කරපු කට්ටිය තමන්ට පුළුවන් විදියට මල් ගස් කියන්නෙත් අනිත් ගස් වරග වගේම ජාතියක් ය, එ්ව විතරක් කොන් කරන එක වැරදි ය කියන මතය සමාජගත කරන්න උත්සාහ කළා. මුලින්ම පත්තර වලට ලිව්වා. ඊට පස්සෙ පා ගමන් ගියා. එක එක විදියේ වැඩසටහන් වලින් මල් ඇට වලට "සමාන අවස්ථා" ලබා දෙන්න කියල ඉල්ලීම් කරන්න ගත්තා.


ටිකෙන් ටික මේ ඉල්ලීම් වැඩි වෙනකොට රජය මල් ඇට තහනම ඉවත් කළා. දැන් කැමති කෙනෙකුට මල් ඇට හිටවන්න තහනමක් නෑ. මල් ගස් ගැන කතා කරපු බොහෝ අයට මේක ලොකු අස්වැසිල්ලක් වුණා. ඒ නිසා එයාල තවදුරටත් සටන් කරන එක නවත්තල දැම්මා. දැන් නීතියෙන් තහනමක් නැති නිසා මිනිස්සු ඕන තරම් මල් ගස් හිටවන්න ඇති නේද? එහෙම වුනේ නෑ. නීතිය ඉවත් කළාට සමාජයේ මල් වලට එරෙහි කොන් කිරීම තවදුරටත් ඒ විදියට ම තිබුණා. ගෙදරක මල් ගහක් පැළ වෙන එක පවක් කියල තවමත් මිනිස්සු විශ්වාස කළා. කවුරු හරි මල් ඇට වගා කරනවා නං ඒ පව්කාරයෙක්, සමාජ විරෝධියෙක්, කමකට නැති එකෙක් කියල මිනිස්සු කතා වුනා. 

ඊට පස්සෙ මල් ඇට වෙනුවෙන් ක්‍රියා කරන සංවිධාන උසාවි ගියා මල් ඇට වල “අයිතිවාසිකම්” වෙනුවෙන් කතා කරන්න. උසාවිය මල් ඇට සහ මල් ගස් කොන් කිරීම තහනම් කළා. කවුරු හරි මල් ගස් වලට අපහාස කළොත් ඒක වරදක් කියල උසාවිය තීරණය කළා. දැන් කවුරුත් ප්‍රසිද්ධියෙ මල් ගස් වලට අපහාස කරන්නෙ නෑ, ලොකු නිදහසක් මල් ගස් වලටත්, මල් ගස් හිටවන අයටත් ලැබුණා. 

දැන්නං මල් ගස් වලට නිදහසේ වැවෙන්න පුළුවන්. ඔයාලට එහෙම හිතෙනවා ඇති. නමුත් අවාසනාවට එහෙම වුනේ නෑ. මොකද ගොඩක් මල් ගස් වලට අනිත් ඕන තැනක වැවෙන ගස් වලට තරම් දරා ගැනීමේ හැකියාවක් නෑ. එයාලට වැවෙන්න නම් ඒකට සුදුසු පරිසරයක් තියෙන්න ඕන. මල් ගස් වලට වැවෙන්න නිදහසට වඩා යමක් අවශ්‍යයි. ඒ තමයි වැවෙන්න අවශ්‍ය “පරිසරයක්” සහ “පහසුකම්”. ඒවා නැතුව වැවෙන්න පුළුවන් මල් ගස් විතරක් බොහොම අමාරුවෙන් වැවෙන්න පටන් ගත්තා. ඒ තරම් ශක්තියක් නැති මල් ගස් වලට පරණ නීතිය අයින් කිරීමෙන් වත්, අලුත් නීති පැනවීමෙන් වත් ඒ තරම් යහපතක් වුනේ නෑ. අවාසනාවන්තම කාරණය තමයි මෙච්චර කල් මල් ගස් වෙනුවෙන් පෙනී හිටපු අය දැන් මල් ගස් වල අවශ්‍යතා සම්පූරණයි කියල නිහඬ වුන එක. දැන් මල් ගස් වෙනුවෙන් කතා කරන්න වත් හිටියෙ බොහොම ටික දෙනයි.
ඒ ටික දෙනා රජයට මෙන්න මේ වගේ යෝජනාවක් කළා. ඒ තමයි මල් ගස් ආරක්ෂා කරන්න අවශ්‍ය නීති හදල දෙන්න කියන එක. මල් ගස් වලට වැවෙන්න අනිත් ගස් වලට ප්‍රමාණවත් පහසුකම් සහ සුදුසු පරිසරයක් ලැබිය යුතුයි කියල මල් ක්‍රියාකාරීන් රජයට යෝජනා කළා. 

හැබැයි මල් ගස් වලට විශේෂ පහසුකම් දෙනවට අනිත් ගස් කැමති වුනේ නෑ. ඒ වුණාට විරෝධතා මැදින් බොහොම වෙහෙස මහන්සි වෙලා ඒ නීතියත් සම්මත කර ගත්තට පස්සෙ තමයි මල් ගස් වලට නිදහසේ වැවෙන්න අවස්ථාව ලැබුනෙ. දැන් මල් වලට වැවෙන්න අවශ්‍ය පොහොර, වතුර ටික සපයන්න සමාජය නීතියෙන්ම බැඳිලා ඉන්නවා. ඒ නිසා දවසින් දවස වටපිටාවෙ මල් ගස් වැඩි වෙමින් යනවා. පරිසරය ටික ටික ලස්සන වෙනවා. ඔන්න ඔහොමයි අපේ වටපිටාව මල් ගස් වලින් පිරිල තියෙන්නෙ. පොඩ්ඩක් ජනේලෙන් ඔලුව එළියට දාලා බලන්න මල් ගස් කීයක් නං තියෙනවද කියල.

කිසිම තේරුමක් නැති කතාවක් නේද? හැබැයි මේ කතාවෙම “මල් ගස්” වෙනුවට “ආබාධ සහිත අය” කියන වචනය ආදේශ කරල බලන්න. නැත්නම් සමාජයේ කොන් කිරීමට, වෙනස් කොට සැලකීමට භාජනය වෙන පුද්ගල කණ්ඩායමක් ආදේශ කරල බලන්න. සමහර විට තේරුමක් තියෙයි. මං මේ කතා කරන්නෙ ආබාධ සහිත අය ගැන. විවිධ නීති, අන පනත්, උසාවි නියෝග පහු කරලා අද වෙනකොට ආබාධ සහිත පුද්ගලයන්ට “සමාජගත වීම” සඳහා “ප්‍රමාණවත් පහසුකම් සහ සුදුසු පරිසරයක්” ලැබිය යුතුයි කියල ලෝකයේ බොහෝ රට වල් පිළි ගනිමින් ඉන්නවා. ඒ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා අවශ්‍ය අන පනත් සකස් කරමින් යනවා. එහි එක ප්‍රධාන පියවරක් තමයි 2006 අවුරුද්දෙ සකස් කරපු “ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය”. අවුරුදු 10 කට පස්සෙ මේ අවුරුද්දෙ පෙබරවාරි මාසෙ ශ්‍රී ලංකාව මේ ප්‍රඥප්තිය ක්‍රියාත්මක කරන්න එකඟ වෙනවා. 

මේ ප්‍රඥප්තිය අලුත් අයිතිවාසිකම් ගැන කතා කරන්නෙ නෑ. නමුත් 1945 එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් ප්‍රඥප්තිය මගින් සම්මත කරල තියෙන මානව අයිතිවාසිකම් ආබාධ සහිත පුද්ගලයන්ටත් ලැබීම සහතික කරන නව යෝජනා එහි ඇතුලත් කරල තියෙනවා. ආබාධ ඇති නැති හැමෝටම එකම අයිතිවාසිකම් හිමි විය යුතු බවත්, ඒ අයිතිවාසිකම් ලැබීමේ දී ආබාධ සහිත පුද්ගලයන්ට “ප්‍රමාණවත් පහසුකම් සහ සුදුසු පරිසරයක්” ලැබිය යුතු අවස්ථා වල දී ඒවා ලබා දීමට රජය සහ ප්‍රජාව කටයුතු කළ යුතු බවත් ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය පෙන්වා දෙනවා.

රටක් විදියට අපිට ආබාධ සහිත පුද්ගලයන්ට සමාජයේ එදිනෙදා ක්‍රියාකාරකම් වල නිරත වීමට ප්‍රමාණවත් පහසුකම් සහ සුදුසු පරිසරයක් සකස් කරන්න පුළුවන් නම් ඒ අය සමාජයට බරක් වෙන එක නතර වේවි. ඒ අය තමන්ගේ විය හියදම් ටික තමන්ම සපුරාගෙන, තමන්ට පුළුවන් විදියට එදිනෙදා වැඩ කටයුතු කරගෙන ස්වාධීනව, අභිමානයෙන් යුතු ව ජීවත් වේවි. ඒ ඉලක්කය තව ගොඩක් දුරයි. හැබැයි අපි අද පටන්ගත්තොත් අපිට ටිකක් කලින් එතනට යන්න පුළුවන්. 


7 comments:

  1. කලින් පොස්ට් එක මේවගෙ දෙයක් ගැන කතා කරනවා කියලා ඇත්තටම පොඩ්ඩක් වත් තෙරුනේ නැ. එක පාර දාපු එක ගොඩාක් හොදයි. ආබාධිත අය වෙනුවෙන් නිති වලින් පනත් සම්මත වෙනකම් බලාන නොයිද අපිම හිතන්න පුලුවන් නම් ලොකේ ගොඩාක් ලස්සන වෙයි. වටින අදහසක් අයියා

    ReplyDelete
    Replies
    1. මටත් හිතුණා මුලදි තේරුණේ නැතුව ඇති කියලා. ඒ නිසයි මුලු පෝස්ට් එකම එකපාර දැම්මෙ. ස්තුතියි අදහසට.

      Delete
  2. ආබාධිත බව එක්ක තියන ගැටලු වලට විසදුම් හොයන එක සහ . සමාජයෙන් වෙන මදි පාඩු කං අනං මනං ගැන කතා කරනකොට ඒක 50 ට 50 බෙදෙන්න ඕන , ඒක එයාල පාවිච්චි කරන විදිහත් එක්ක , උවමනාව තියනවානං එයාලට පුලුවන් සාමාන්‍ය විදිහට අනිත් අයට තියන සමාජිය නිදහසම භුක්ති විදින්න ,

    සමාවෙන්න මේ උදාහරනය ගන්නවාට ...බලන්න අපේ කසුන් ....එතකොට ඌගේ නිර්මානි ....සාමාන්‍යයයි නේද , කසුන අපි එක්ක ඇවිදිනකොට අල්ලනවට පාර පේන්වනවට කැමති නැ , ඌ කියන්නේ ..අටං අයියේ ඔහොම ලගින් යං ..ඔයා යනකොට පඩියක් තිබුනත් මම දන්නවා ....ඌට වක්කරනවට ඌ කැමති නැ .....තනියම දාගන්ඩ තමයි ඕන ...කෝ සෝඩා ඒක ....ලගට දෙනවට කැමති නැ ..ඌම හොයාගන්නවා කොකා කෝලා අත ඇරල සෝඩා .....එයාලගේ අයිතින් . එයාලගේ ජීවන රටාව එයාලයි හදාගන්න ඕන ...අපිට ඒකට මොකුත් කරන්න බැ ..අපිට පුලුවන් උදව් කරන එක විතරයි..........මං කියන දේ හරියට සංනිවේදය උනාද මන්දා......කියවලා බලන්න ...කසුන්ව සහ නිර්මානිව

    ReplyDelete
    Replies
    1. ඇත්ත. එක එක ආබාධ තියෙන අයට අවශ්‍ය වෙන "ප්‍රමාණවත් පහසුකම් සහ සුදුසු පරිසරය" වෙනස්. සමහර අයට බොහොම සුළු පහසුකම් ප්‍රමාණයක් තිබුණොත් තමන්ගේ ජීවිතය ස්වාධීන ව ගෙනියන්න පුලුවන් වෙනවා. නමුත් සමහර අයට ගොඩක් පහසුකම් සළසන්න වෙනවා. උදාහරණයක් විදියට ඇස් පේන්නෙ නැති කෙනෙක්ට කියවන්න ප්‍රමාණවත් පහසුකම් අවශ්‍ය වෙනවා. නමුත් අපේ රටේ කිසිම නිර්මාණයක් (අධ්‍යාපනික ඒවා ඇරෙන්න) බ්‍රේල් වලට පරිවර්තනය වෙලා නෑ. එතකොට අන්ධ අයට කියවීමට "ප්‍රමාණවත් පහසුකම්" ලැබිලා නෑ. අන්න ඒ වගේ. අපි අපේක්ෂා කරන්නෙ හැම කෙනෙකුටම අත්‍යවශ්‍ය ප්‍රමාණවත් පහසුකම් සැළසීම මගින් එයාලට ස්වාධීන ජීවිතයක් ගෙනියන්න අවස්ථාව ලබා දීම. ඉදිරි ලිපි වලදි ඒ ගැන කතා කරමු. ස්තුතියි ඔබේ අවංක අදහස පළ කිරීම ගැන.

      Delete
    2. අටම් කියන 50 50 කතාවට මාත් එකඟයි.

      Delete
  3. කතාවෙන් ලොකු පණිවිඩයක් දෙනවා.
    එත් අර උඩින් අටම් කියලා තියෙනවා වගේ අපිට වඩා වෙනස් අවශ්‍යතා තියෙන අයටත් අපි එක්කම ජීවත් වෙන්න අපි කරන දේවල්ම කරන්න හෝ උත්සාහ කරන්න වත් පුළුවන් නිදහස් සහ "අනවශ්‍ය අවධානයක්, අනුකම්පාවක්" නැති වටපිටාවක් හදල දෙන්න ඕනා. එයාලා එයාලගේ ආරෙට එයාලගේ විදියට අපි එක්ක කතා බහ කරයි, හිනා වෙයි, ජීවත් වෙයි. එයාල ට අපි එක්ක වෙනසක් නැහැ කියලා තේරෙනවා නම් අන්න එකයි වෙන්න ඕනා. එයාලට නිදහස ලැබෙන්නේ එතකොටයි.

    මතකද, "හරි පුදුම ඉස්කෝලේ"
    එකේ විදුහල්පති තුමා මුළු ඉස්කෝලෙම ළමයින්ට නිරුවතින් නාන්න දෙනවා. ගෑනු පිරිමි ලොකු පොඩි අංග විකල කුරු විරූපී සේරම හෙලුවැල්ලෙන් එක ගොඩේ නානවා . ඒ කතාවේම කියනවා එහෙම වුනාම හැමෝටම තම තමුන්ගේ වෙනස්කම් අමතක වෙලා යනවා කියලා.

    අන්න එකයි.
    එයාල ගැන අපි අවධානෙන් ඉන්න ඕන. එත් අනවශ්‍ය විදියට අනුකම්පා කරාම එක එයාලගේ වර්ධනයට බාධාවක්.

    ReplyDelete
    Replies
    1. පැහැදිළිවම. ඔවුන්ට අනවශ්‍ය අවධානයක් ලබා දිය යුතු නැහැ. මෙහි සාකච්ඡා කරන්නේ ඔහුට හෝ ඇයට අන් අය හා සමාන වරප්‍රසාද හෝ අයිතිවාසිකම් භුක්ති විදීමට අවශ්‍ය තරමේ ප්‍රමාණවත් පහසුකම් සැළසිය යුතු බව. තවත් උදාහරණයක් ගත්තොත් පඩි නගින්න අපහසු රෝද පුටුවක ඉන්න කෙනෙකුට ලිෆ්ට් එතත් මගින් උඩ තට්ටුවට යාමට අවශ්‍ය පහසුකම් සැපයීම වගේ. බොහොම සාමාන්‍ය දේවල්. කළ යුත්තේ එවැනි අවශ්‍යතාවල දී ඒ පහසුකම් සැපයෙන බවට වග බලා ගැනීම.

      Delete

ඔබට හිතෙන හැටිත් ලියල යන්න.