රේල් පීලි සොයා හිරගෙදර ගියෙමි

Tuesday, November 17, 2015
හිරගෙදර හෙවත් බන්ධනාගාරයට යන්නට බොහෝ අය අකමැතිය. යන්නට කැමති අය ද සුළු පිරිසක් සිටින නමුත් එවැනි අය එනවාට හිරගෙදර කැමති නැත. ඊට අමතරව රස්සාවේ හැටියට දිනපතාම හිරේ යන අය ද, සතියකට දෙකකට වතාවක් යන අපි වගේ අයද සිටිති. එහෙමයි කියා සාහිත්‍ය සංවාද වලට හිරේ යන අය ගැන අපි අසා නැත. 

එවැනි සංවාදයක් ඊයේ (16) පැවැත්විණි. ෆේස්බුක් ඔස්සේ දැන කියාගත් ලලිතා ආන්ටිත්, පීටර් අයියාත් නොවන්නට ඒ වටිනා අවස්ථාව මට අහිමි වන්නට ඉඩ තිබිණි. නමුත් එදා එතැනට ගියේ ජීවිතේටම එක වරක් පමණක් හමු වී ඇති, අඩුම තරමින් අන්තර්ජාලය ඔස්සේවත් කතා බහ කර නැති නිශ්මං රණසිංහ සහෘදයාගේ පොතක් එළිදක්වන බව දැනගැනීමටත් වඩා ඊයේ ඒ අහල පහළ සිටීමත්, මගේ වැඩ රාජකාරි 4.30 වනවිට අවසන් වීමත් නිසා ය. එහෙත් පහට පටන් ගෙන හතට අවසන් වූ ඒ ඉතා චාම් උත්සවය මාස ගණනාවකින් ගොඩ වැදී නැති, වල් බිහි වූ මගේ බ්ලොග් අඩවියේ අලුතින් ලියන්නට මා පෙළඹවීය.

බන්ධනාගාරය කියන වචනය පවා බොහෝ අප්‍ර‍සන්නය. කෙනෙක් හිරේ ගියොත් ගියාමය. හිරේ යන්නට පෙර තිබූ සමාජ තත්ත්වය, පිළිගැනීම ආපහු ගන්නට බැරිය. එහෙත් බන්ධනාගාර සංකල්පයේ අරමුණ වන්නේ සිරගත වන පුද්ගලයා පුනරුත්ථාපනය කොට නැවත සමාජගත කිරීමය.බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අරමුණ ද එයයි. එහෙත් ඔවුනට පමණක් එහි බර දැරිය නොහැකිය. එබැවින් ඔවුන්ට අමතරව එම අරමුණ හරියට ඉටුකර ගන්නට උදව් කරන විවිධ අය සිටිති. නිෂ්මං රණසිංහ එවැන්නෙකි. වැලිකඩ බන්ධනාගාරයේ නාට්‍ය උපදේශකවරයා ඔහු ය. බන්ධනාගාර රැඳවියන් යොදාගනිමින් නිෂ්පාදනය කළ පළමු නාට්‍යය ඔහුගේ ය. එම නාට්‍යය 2014 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙල නියෝජනය කළේය. ඒ ඔහු ගැන මා ඊයේ දැනගත් දේ ය.

ඔහු පොත් දෙකක් ලියා පළ කොට තිබේ. ඊයේ එළිදැක්වූ "රේල් පීලි" ඔහුගේ දෙවන කෘතියයි. බොරැල්ල වනාතමුල්ලේ , අවිස්සාවේල්ල - කොළඹ දුම්රිය මාර්ගය අසල පැල්පත් වල ජීවත් වන පවුල් වල යෞවනයන් චරිත බවට පත්කර ගනිමින් ලියා ඇති රේල් පීලි ඊයේ රාත්‍රීයේම කියවා අවසන් කළෙමි. මධුර, අසංක, චලුකි, ලොකු සර් සහ සුබ්‍ර‍මනියම් ආදී චරිත මනසින් මුණගැසුනෙමි. සත්‍ය ලෝකයේදී මුණගැසුනු එවැනි චරිත ඔවුන්ට ආදේශ කළෙමි. පොත කියවා අවසන් කර පැය 12 ක් ගෙවී ඇති මේ මොහොත වන විටත් නිෂ්මංගේ රේල් පීලි මත මා ඇවිද යමින් සිටිමි.

එහෙත් ඊයේ පැවති අමුතු උත්සවයටත්, ඔහුගේ පොතටත් වඩා මේ ඒකකාරී සටහන ලියන්නට මා පෙළඹවූයේ ඔහු ඊයේ අඩිතාලම දැමූ යෝධ කාර්යයයි. සිරගත වීම මිනිසාට බොහෝ දේ අහිමි කරයි. නම වෙනුවට අංකයක් හිමි වෙයි. මෙතෙක් භාවිතා කළ වෛවර්ණ විලාසිතා අහිමි වෙයි. තමාට හුරු පුරුදු සමාජයෙන් වෙන්ව යෝධ තාප්පයකට මැදි වන්නට සිදු වෙයි. ඒ තාප්පයේ පිටතින් "සිරකරුවෝද මනුෂ්‍යයෝය" කියා ලියා තිබේ. දින සති මාස අවුරුදු ගණන් මේ ඒකාකාරී භූමිය තුල සිරගතව සිටීම වේදනාකාරීය. හුදෙකලාව මුළු ජීවිතයම වසා ගනියි. තාප්පයෙන් පිටත ලෝකය හැල්මේ දුවන විට තාප්පය ඇතුලත ලෝකය එකතැන පල් වෙමින් තිබේ. 

නිෂ්මං හදන්නේ මේ එකතැන පල් වෙන ලෝකයට පොඩි තල්ලුවක් දෙන්නටය. ඒ සිරගතවූවන් වෙනුවෙන් පුස්තකාලයක් ලබා දීමෙනි. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුනරුත්ථාපන අංශය මේ කටයුත්තට නායකත්වය දෙයි. ඒ වෙනුවෙන් පොත් පත් පරිත්‍යාග කරන්නට තාප්පයෙන් පිටත ලෝකයට අවස්ථාව තිබේ. ඊයේ ආරම්භ වූයේ ඒ කටයුත්තයි. කතාව ගමනට දෝලාවක් යැයි කියමනක් තිබේ. කියවීම හුදෙකලාවට මිතුරෙකි. කියවීම මිනිසා සම්පූර්ණ කරන බව අපි අසා ඇත. එබැවින් මේ සත්කාරයට දායක වන්නට ඔබට ද අවස්ථාව ඇත. ඒ සඳහා වැලිකඩ බන්ධනාගාරයේ කොමසාරිස් (පුනරුත්ථාපන) හමුවිය හැකිය. නැතිනම් මුහුණු පොත ඔස්සේ නිෂ්මං රණසිංහ හමුවිය හැකිය. සිරගත වූ ජීවිත කියවීම තුලින් ආලෝකවත් වන යුගයක එහි ආරම්භකයකු වීමේ සතුට භුක්ති විඳින්නට එවිට ඔබට අවස්ථාව ලැබෙනු ඇත.

මේ සොඳුරු මිනිසා විසින් නිර්මාණය කළ නාට්‍යය ඔබේ ප්‍රදේශයේ ප්‍ර‍දර්ශනය කරවා ගැනීමට ද, ඔහුගේ නවකතාවත්, ඊට පෙර ලියන ලද බොක්සිං ක්‍රීඩක මංජුල වන්නිආරච්චි පිළිබඳ ලියා ඇති රන් කඳුල ග්‍ර‍න්ථයත් මිලදී ගැනීමට ද ෆේස්බුක් හරහා ඔහු සම්බන්ධ කරගැනීමට අවස්ථාව ඇති බව අවසාන වශයෙන් සිහිපත් කරනු කැමැත්තෙමි. 

2 comments:

  1. බෝම හොද කාර්යයක්.. වගේම හොද සටහනක්.. අපි උදව් කරමු.. ගෘප් එකක් හදා ගමු.

    ReplyDelete
  2. සිරකරුවොත් මනුෂ්‍යයෝ කියල එලියෙ බිත්තියෙනම් ලියල තිබුනා ........

    ReplyDelete

ඔබට හිතෙන හැටිත් ලියල යන්න.