2015

Tuesday, November 17, 2015

රේල් පීලි සොයා හිරගෙදර ගියෙමි


හිරගෙදර හෙවත් බන්ධනාගාරයට යන්නට බොහෝ අය අකමැතිය. යන්නට කැමති අය ද සුළු පිරිසක් සිටින නමුත් එවැනි අය එනවාට හිරගෙදර කැමති නැත. ඊට අමතරව රස්සාවේ හැටියට දිනපතාම හිරේ යන අය ද, සතියකට දෙකකට වතාවක් යන අපි වගේ අයද සිටිති. එහෙමයි කියා සාහිත්‍ය සංවාද වලට හිරේ යන අය ගැන අපි අසා නැත. 

එවැනි සංවාදයක් ඊයේ (16) පැවැත්විණි. ෆේස්බුක් ඔස්සේ දැන කියාගත් ලලිතා ආන්ටිත්, පීටර් අයියාත් නොවන්නට ඒ වටිනා අවස්ථාව මට අහිමි වන්නට ඉඩ තිබිණි. නමුත් එදා එතැනට ගියේ ජීවිතේටම එක වරක් පමණක් හමු වී ඇති, අඩුම තරමින් අන්තර්ජාලය ඔස්සේවත් කතා බහ කර නැති නිශ්මං රණසිංහ සහෘදයාගේ පොතක් එළිදක්වන බව දැනගැනීමටත් වඩා ඊයේ ඒ අහල පහළ සිටීමත්, මගේ වැඩ රාජකාරි 4.30 වනවිට අවසන් වීමත් නිසා ය. එහෙත් පහට පටන් ගෙන හතට අවසන් වූ ඒ ඉතා චාම් උත්සවය මාස ගණනාවකින් ගොඩ වැදී නැති, වල් බිහි වූ මගේ බ්ලොග් අඩවියේ අලුතින් ලියන්නට මා පෙළඹවීය.

බන්ධනාගාරය කියන වචනය පවා බොහෝ අප්‍ර‍සන්නය. කෙනෙක් හිරේ ගියොත් ගියාමය. හිරේ යන්නට පෙර තිබූ සමාජ තත්ත්වය, පිළිගැනීම ආපහු ගන්නට බැරිය. එහෙත් බන්ධනාගාර සංකල්පයේ අරමුණ වන්නේ සිරගත වන පුද්ගලයා පුනරුත්ථාපනය කොට නැවත සමාජගත කිරීමය.බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අරමුණ ද එයයි. එහෙත් ඔවුනට පමණක් එහි බර දැරිය නොහැකිය. එබැවින් ඔවුන්ට අමතරව එම අරමුණ හරියට ඉටුකර ගන්නට උදව් කරන විවිධ අය සිටිති. නිෂ්මං රණසිංහ එවැන්නෙකි. වැලිකඩ බන්ධනාගාරයේ නාට්‍ය උපදේශකවරයා ඔහු ය. බන්ධනාගාර රැඳවියන් යොදාගනිමින් නිෂ්පාදනය කළ පළමු නාට්‍යය ඔහුගේ ය. එම නාට්‍යය 2014 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙල නියෝජනය කළේය. ඒ ඔහු ගැන මා ඊයේ දැනගත් දේ ය.

ඔහු පොත් දෙකක් ලියා පළ කොට තිබේ. ඊයේ එළිදැක්වූ "රේල් පීලි" ඔහුගේ දෙවන කෘතියයි. බොරැල්ල වනාතමුල්ලේ , අවිස්සාවේල්ල - කොළඹ දුම්රිය මාර්ගය අසල පැල්පත් වල ජීවත් වන පවුල් වල යෞවනයන් චරිත බවට පත්කර ගනිමින් ලියා ඇති රේල් පීලි ඊයේ රාත්‍රීයේම කියවා අවසන් කළෙමි. මධුර, අසංක, චලුකි, ලොකු සර් සහ සුබ්‍ර‍මනියම් ආදී චරිත මනසින් මුණගැසුනෙමි. සත්‍ය ලෝකයේදී මුණගැසුනු එවැනි චරිත ඔවුන්ට ආදේශ කළෙමි. පොත කියවා අවසන් කර පැය 12 ක් ගෙවී ඇති මේ මොහොත වන විටත් නිෂ්මංගේ රේල් පීලි මත මා ඇවිද යමින් සිටිමි.

එහෙත් ඊයේ පැවති අමුතු උත්සවයටත්, ඔහුගේ පොතටත් වඩා මේ ඒකකාරී සටහන ලියන්නට මා පෙළඹවූයේ ඔහු ඊයේ අඩිතාලම දැමූ යෝධ කාර්යයයි. සිරගත වීම මිනිසාට බොහෝ දේ අහිමි කරයි. නම වෙනුවට අංකයක් හිමි වෙයි. මෙතෙක් භාවිතා කළ වෛවර්ණ විලාසිතා අහිමි වෙයි. තමාට හුරු පුරුදු සමාජයෙන් වෙන්ව යෝධ තාප්පයකට මැදි වන්නට සිදු වෙයි. ඒ තාප්පයේ පිටතින් "සිරකරුවෝද මනුෂ්‍යයෝය" කියා ලියා තිබේ. දින සති මාස අවුරුදු ගණන් මේ ඒකාකාරී භූමිය තුල සිරගතව සිටීම වේදනාකාරීය. හුදෙකලාව මුළු ජීවිතයම වසා ගනියි. තාප්පයෙන් පිටත ලෝකය හැල්මේ දුවන විට තාප්පය ඇතුලත ලෝකය එකතැන පල් වෙමින් තිබේ. 

නිෂ්මං හදන්නේ මේ එකතැන පල් වෙන ලෝකයට පොඩි තල්ලුවක් දෙන්නටය. ඒ සිරගතවූවන් වෙනුවෙන් පුස්තකාලයක් ලබා දීමෙනි. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුනරුත්ථාපන අංශය මේ කටයුත්තට නායකත්වය දෙයි. ඒ වෙනුවෙන් පොත් පත් පරිත්‍යාග කරන්නට තාප්පයෙන් පිටත ලෝකයට අවස්ථාව තිබේ. ඊයේ ආරම්භ වූයේ ඒ කටයුත්තයි. කතාව ගමනට දෝලාවක් යැයි කියමනක් තිබේ. කියවීම හුදෙකලාවට මිතුරෙකි. කියවීම මිනිසා සම්පූර්ණ කරන බව අපි අසා ඇත. එබැවින් මේ සත්කාරයට දායක වන්නට ඔබට ද අවස්ථාව ඇත. ඒ සඳහා වැලිකඩ බන්ධනාගාරයේ කොමසාරිස් (පුනරුත්ථාපන) හමුවිය හැකිය. නැතිනම් මුහුණු පොත ඔස්සේ නිෂ්මං රණසිංහ හමුවිය හැකිය. සිරගත වූ ජීවිත කියවීම තුලින් ආලෝකවත් වන යුගයක එහි ආරම්භකයකු වීමේ සතුට භුක්ති විඳින්නට එවිට ඔබට අවස්ථාව ලැබෙනු ඇත.

මේ සොඳුරු මිනිසා විසින් නිර්මාණය කළ නාට්‍යය ඔබේ ප්‍රදේශයේ ප්‍ර‍දර්ශනය කරවා ගැනීමට ද, ඔහුගේ නවකතාවත්, ඊට පෙර ලියන ලද බොක්සිං ක්‍රීඩක මංජුල වන්නිආරච්චි පිළිබඳ ලියා ඇති රන් කඳුල ග්‍ර‍න්ථයත් මිලදී ගැනීමට ද ෆේස්බුක් හරහා ඔහු සම්බන්ධ කරගැනීමට අවස්ථාව ඇති බව අවසාන වශයෙන් සිහිපත් කරනු කැමැත්තෙමි. 

Monday, May 18, 2015

ෆේස්බුක් හරහා දුම්බර මිටියාවතට ගිය ගමනක්...


දුම්බර මිටියාවත විවිධ කාරණා වලදි නිතර කියවෙන ප්‍රදේශයක්. විශේෂයෙන්ම දුම්බර කඳුවැටියත් ඒ ආශ්‍රිත පරිසරයත් විශාල ජෛව විවිධත්වයක් සහිත කලාපයක් විදියටයි සැලකෙන්නෙ. වන බිම්, ගංඟා, ඇළ දොළ, කඳු වැටි වන සතුන්ගෙන් පිරි පරිසර පද්ධති රාශියක් මෙම භූමිය තුළ හඳුනාගත හැකියි. ඒ නිසාම දුම්බර කඳුවැටිය මූලික කරගෙන වන රක්ෂිතයක් ප්‍රකාශයට පත් කරල තියෙනවා. දුම්බර ප්‍රසිද්ධියට පත් වෙන්න තවත් හේතුවක් තමයි දුම්බර කලාශිල්ප. හණ සහ ලාක්ෂා ආශ්‍රිත දුම්බර රටා කර්මාන්තය ලොව පුරා ප්‍රසිද්ධ කලා ශිල්ප කිහිපයක්. 
 
දුම්බර කඳුවැටිය හෙවත් නකල්ස් කඳුවැටිය පාසලට පෙනෙන අයුරු

කහටලියද්ද කියන්නෙ ඒ සුන්දර දුම්බර මිටියාවතේ තියෙන එක ගම්මානයක්. මහනුවර මහියංගන පාරෙ කිලෝමීටර් 49 ක් ගියාම හම්බවෙන උඩදුම්බර නගරයෙන් වම් පැත්තට කිලෝමීටර් 8 ක් විතර යනකොට තමයි කහටලියද්ද හම්බවෙන්නෙ. උඩදුම්බර ඉඳල කහටලියද්දට යන ගමන ඉතාම ප්‍රපාතාකාර බෑවුම් සහිත මාර්ගයක යන්න තියෙන ගමනක්. අපට මේ ගමට යන්න අවස්ථාව ලැබුණෙ අන්තර්ජාලයේ, විශේෂයෙන්ම ෆේස්බුක් භාවිතාකරන අපේ සොයුරු සොයුරියන් කණ්ඩායමක් කහටලියද්දෙ විශාල පිංකමක් කරන්න කටයුතු කරමින් ඉන්න නිසා.
 
ශ්‍රමදානයේ අවස්ථාවක්

කාලයක් මුහුණු පොත සිතුවමින් හැඩකල සිත්තරි මං, එහෙමත් නැත්නම් තිලිණි ෂැල්වින් සොයුරිය සේවය කරන්නෙ මේ කහටලියද්ද චූලාභය ද්විතීයික පාසලේ. මේ පාසලේ දරුවන් පහුගිය අවුරුදු හයක් තිස්සේ විශාල ජල හිඟයකින් පීඩා විඳිනවා. ඊට හේතුව පාසලේ තිබුණු එකම නල ළිඳ ක්‍රියා විරහිත වීම. තිලිණි සොයුරිය ඒ ගැන දැනුවත් කලාට පස්සෙ ෆේස්බුක් මිතුරු මිතුරියන් මේ වැඩේට එකතු වුණා. ඉතා ඉක්මනින් නල ළිඳ යථා තත්වයට පත් කරන්න ඔවුන් සමත් වුණා. නමුත් ඊට වඩා කල් පවතින විසඳුමක් විදියට පාසලට කිලෝමීටර් 1 1/2ක් දුරින් තියෙන ජල උල්පතකින් පාසලට ජලය සපයන්නයි ඔවුන්ට අවශ්‍ය වුනේ. 
 
වැඩමුලුවේ අවස්ථාවක් - තේනුවර සර්

මේ කටයුත්ත ගැන කනික් කොනින් ආරංචි වෙලා ෆේස්බුක් ඇතුලු අන්තර්ජාලයේ මිතුරු මිතුරියන් රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලක් ඒ වෙනුවෙන් පරිත්‍යාග කරලා තිබුණා. පහුගිය පහළොස් වෙනිදා, ඒ කියන්නේ චූලාභය ද්විතීයික පාසල ආරම්භ කරලා අවුරුදු 135 ක් සම්පූර්ණ වෙන දවසේ ඒ කටයුත්තෙන් වැඩි ප්‍රමාණයක් අවසන් කරන්න ඔවුන් සමත් වුණා. උල්පත තියෙන තැන ඉඳලා පාසලට නල ඇතිරීම මේ වෙනකොට අවසන් කරලා තියෙන්නෙ. පාසලේ ජල ටැංකිය හදන වැඩෙත් සැළසුම් කරලා ඉවරයි. නමුත් මේ කණ්ඩායම එතනින් නවතින්නෙ නෑ.
 
මුදල් භාවිතයේ විනිවිද භාවය

මීට සමගාමීව ඒ පාසලේ දරුවන්ට මුද්‍රණ යන්ත්‍රයක්, රෝනියෝ මුද්‍රණ යන්ත්‍රයක්, පුස්තකාලයක් ඇතුලු බොහේ දේ දෙන්න දැනටමත් සැළසුම් කරලා. ඊට අමතරව පාසලේ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කරන්නත්, දරුවන්ගේ සහ දෙමාපියන්ගේ දැනුම දියුණු කිරීම සඳහා විවිධ වැඩසටහන් සංවිධානය කරන්නත් ඔවුන් කටයුතු කරනවා. එහි පළමු පියවර විදියට ප්‍රවින චිත්‍ර/ඡායාරූප ශිල්පී ඉන්ද්‍රනාථ තේනුවර සහ ප්‍රවින කිවිවර බුද්ධදාස ගලප්පත්ති යන මහත්වරුන් එක්ක ඒ දරුවන් වෙනුවෙන් දවසක් ගතකරන්න අවස්ථාව ලැබුණ නිසයි මේ පෝස්ට් එක මේ විදියට ලියවෙන්නෙ.

පහුගිය සතියෙ පැවැත්වූ වැඩසටහන ආරම්භ වුනේ 14 වෙනිදා හැන්දෑවෙ. එදා ඒ දරුවන් සහ දෙමාපියන් වෙනුවෙන් සිනමාපටයක් ප්‍රදර්ශනය කරනු ලැබුවා. එදා තමයි ඒ දරුවන්ගෙන් බොහෝ දෙනෙක් පුළුල්තිරයක සිනමාපටයක් නරඹපු පළමු අවස්ථාව. 15 වෙනිදා උදේ 8.00 ට පාසලේ දරුවන්ගෙ දෙමාපියන් සහ කොළඹින් ගිය කණ්ඩායම ශ්‍රමදානයකින් නල එලීමේ කටයුත්ත ආරම්භ කලා. හවස 2 වෙනකොට කිලෝමීටර් 1 1/2ක මුලු දුර ප්‍රමාණයම නල එලලා අවසන් කරන්න ඔවුන් සමත් වුණා. ඒ අතරෙ තමයි දරුවන් වෙනුවෙන් වැඩමුළුව පැවැත්වුනේ. 
කහටලියද්දට ඉර උදා වූ හැටි



වැඩසටහනේ දෙවන අදියර යටතේ 

  • ලීටර් 5000 ධාරිතාවයෙන් යුත් ජල ගබඩා ටැංකියක් ඉදිකිරිම 
  • වැඩිහිටි ගැහැණු දරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරිම සඳහා වැසිිකිළි අලුත්වැඩියාව සහ සනීපාරක්ෂක තුවා බැහැර කිරිමේ පද්ධතියක් පාසල තුල ඉදිකිරිම
  • පානිය ජල ව්‍යාපෘතියේ ජල ධාරිතාවය වැඩි දියුණු කිරිම
  • පාසල තුල අභ්‍යන්තර ජලය බෙදාහැරීමේ පද්ධතිය වැඩි දියුණු කිරිම
  • සනීපාරක්ෂක සහ ජලයෝජනා ක්‍රමයේ නඩත්තු සහ මෙහෙයුම් ක්‍රියාවලිය ස්ථාපිත කිරිම සහ
  • පුස්තකාලය සදහා පොත්පත් ලබාදීම
සිදු කිරීමට නියමිතයි. 

මේ කටයුතු වලට සහභාගී වෙන හැම කෙනෙක්ම තම තමන්ගේ වියදම් තමන් දරාගනිමින් මේ කටයුත්තට දායක වීම වැදගත් කාරණයක්. තමන්ට ආධාර වශයෙන් ලැබෙන සියලු මුදල් ව්‍යාපෘතිය වෙනුවෙන් පමණක් වැය කරන්න ඔවුන් තීරණය කරලා. ඒ නිසා  මම කලින් කියපු ප්‍රවීනයන් ඇතුලු හැම කෙනෙක්ම තමන්ගේ වියදම් තමන් දරාගනිමින් තමයි මේ වැඩේට දායක වෙන්නෙ. 
 
ශ්‍රමදානයේ අවස්ථාවක්

මේ සුන්දර මිටියාවතේ දුෂ්කර ජීවිත තරමක් හෝ පහසු කර දෙන්නටත් ලෝකය නොදුටු දරුවන්ගේ දෑස් පාදන්නටත් මේ කණ්ඩායම ගන්නා උත්සාහය අගය කළ යුතුමයි. මේ කටයුත්ත සංවිධානය කරන කණ්ඩායමේ වචන වලින් කියනවානං "මේ වැඩේ සාර්ථකයි කියල කියන්නෙ කවදහරි දවසක මේ පාසලෙන් රටට ලෝකෙට වැඩක් කරන එක දරුවෙක් හරි බිහිවුන දවසට"යි. 

ඉතිං ඒ සිහිනය සැබෑ කරගන්න මුදලින් හරි ශ්‍රමයෙන් හරි දායක වෙන්න ඔබත් කැමතිනම් මෙන්න මේ ෆේස්බුක් ඉවෙන්ට් එකට ගියොත් විස්තර දැනගන්න පුලුවන්. අනාගතයේ දවසක රට බබලවන චරිතයක් චූලාභය ද්විතීයික පාසලෙන් බිහි වුනොත් එය ඔබටත් ආඩම්බර වන්නට කාරණාවක් වේවි. 
මේ දරුවන්ට හෙටක් හදමු


ප.ලි. - 
බ්ලොග් වසන්තයට පෝස්ට් එකක් දෙකක් ලිව්වට පස්සෙ අදයි මේ ලියන්නෙ. ලියන කෙනා පරණ වුනාට බ්ලොග් එක අලුත්. ඒ නිසා මේ පෝස්ට් එකට දකුණු පැත්තෙ follow බොත්තම තියෙන බවත් මේ පෝස්ට් එකට පහලින් comment තීරයක් තියෙන බවත් මතක් කරන්න ඕන. 

Tuesday, April 7, 2015

ඉංගිරීසි



 මේ ලෝකෙ ජීවත් වෙන මිනිස්සු සංඛ්‍යාවක් විදියට ගත්තොත් බිලියන 7 කට වඩා පොඩ්ඩක් වැඩියි කියලයි කියන්නෙ. ඉතිං මේ මිනිස්සු බිලියන හත ජීවත් වෙන්නෙ එක තැනක නෙමෙයි. රටවල්නං195 ක, සමහරු රටක් විදියට පිළිනොගන්න තායිවානයත් ඇතුලත් කලොත් 196 ක. ඒ වගේම මේ එක එක රටවල අය කතා කරන්නෙ එක එක භාෂාවන්. ලෝකයේ භාෂා 6500 ක් විතර තියෙනවා. ඒකෙන් වැඩිම පිරිසක් භාවිතා කරන භාෂාව තමයි චීන භාෂාව. ඊළඟට ස්පාඤ්ඤ භාෂාව. තුන් වෙනියට වැඩිම පිරිසක් භාවිතා කරන්නෙ ඉංග්‍රීසි භාෂාව. 

ඉංග්‍රීසි කියන්නෙ අපේ රටේ බොහොම සුලබව භාවිතා වෙන භාෂාවක්. අපි පාවිච්චි කරන කොපිපොතේ ඉඳලා පරිගණකය දක්වාත්, ගෙදරට ගේන සැමන් ටින් එකේ ඉඳලා වොෂින් මැෂින් එක දක්වාත් අපි ඉංග්‍රීසි වචනයක් හරි පාවිච්චි කරනවා. බලන්නකො මේ වාක්‍ය තුන ඇතුලෙ ඉංග්‍රීසි කෑලි කීයක් තියෙනවද කියල. ඒ මොන දේට පාවිච්චි කලත් අපිට ඉස්කෝලෙදි එපාම කරපු විෂයය ඉංග්‍රීසි. ඉංග්‍රීසි පීරියඩ් එක කට් කරන්න තියෙනවනං ඊට වඩා දෙයක් නෑ. හැබැයි අපි හැමෝටම ඉංග්‍රීසි ඕන වෙන දවසක් එනවා. ඔයාල කියයි මේක අපේ සිංහල රට. අපිට සිංහල තිබුණාම ඇති කියලා. ඒ වුනාට ඉංග්‍රීසි ටිකක් නැතුව අද කාලෙ කඩේකිං ප්ලේන්ටියක් බොන්න පුළුවන්ද? 

ඉංග්‍රීසි ඒ තරම් අපිට වැදගත් වෙලා තියෙන්නෙ ඇයි? ඒකට ප්‍රධාන හේතුව වෙන්න ඇත්තෙ අපි ඉංග්‍රීසින්ට යටත් වීම. ලංකාවෙ විතරක් නෙමෙයි, ඉංග්‍රීසි භාෂාව ලෝකය පුරාම ව්‍යාප්ත වෙන්න ඉංග්‍රීසි අධිරාජ්‍යවාදය හේතුවෙන්න ඇති කියලයි කියන්නෙ. ඒ කොහොම වුනත් මේ වෙනකොට ලෝකයේ වැඩියෙන්ම භාවිතා වෙන භාෂාවක් වගේම එක එක භාෂාවන් කතාකරන ජනතාව අතර අන්තර්සන්නිවේදන භාෂාව වෙලා තියෙන්නෙත් ඉංග්‍රීසි. ඒ හින්දා අපි රට රටවලට යනකොට විතරක් නෙමෙයි මේ රටේ ඉන්නකොටත් ඉංග්‍රීසි ටිකක් දැනගෙන ඉන්න එක වටිනවා. 


ඒ වුනාට අපි බොහෝ දෙනෙක්ගෙ ඉංග්‍රීසි දැනුම සෑහෙන්න දුර්වලයි. 2013 සාමාන්‍යපෙළ විභාගයේ වැඩිම ශිෂ්‍යයින් පිරිසක් අසමත් වෙලා තියෙන්නෙ ඉංග්‍රීසි විෂයය. ඒ 52.14% ක්. 2014 අවුරුද්දෙත් විභාගය ලියපු සිසුන්ගෙන් 50%කට වැඩි පිරිසක් ඉංග්‍රීසි අසමත්. ඉංග්‍රීසි අසමත් වීම නිසා අපිට ලැබෙන දේවල් වලට වඩා නොලැබෙන දේවල් වැඩියි. රූපවාහිනියේ උපදෙස් පත්‍රිකාවෙ ඉඳලා ඉංග්‍රීසි භාෂාවෙන් පළ වෙලා තියෙන ලේඛණ වලට ප්‍රවේශ වෙන්නත්, රාජකාරි ජීවිතයේදී හරි වෙනත් අවස්ථාවකදි හරි හමුවෙන විදේශිකයෙක් එක්ක කතාබහ කරන්නත්, ඉංග්‍රීසි චිත්‍රපටක් හොඳින් රස විඳින්නත් අපේ ඉංග්‍රීසි නොදැනීම බාධාවක් වෙනවා. 


ඒ හින්දා ප්‍රමාදයි කියල හිතන්නැතුව ඉංග්‍රීසි ටිකක් ඉගෙනගන්න පටන්ගන්න. තව තවත් භාෂාවන් ඉගෙනගන්න පුළුවන්නං හොඳයි. නමුත් අපිට ගොඩක්ම අවශ්‍ය වෙන ඉංග්‍රීසියෙන් පටන්ගනිමු. ඕනෑම භාෂාවක ප්‍රධාන කරුණු හතරක් අපි ඉගෙනගන්න ඕනෑ. ඒ තමයි සවන්දීම, කතා කිරීම, ලිවීම සහ කියවීම. ඔය හතරටම ව්‍යාකරණ දැනුමත්, පොහොසත් වචන ගබඩාවක් තිබීමත් වැදගත් වෙනවා. ඉංග්‍රීසි වලටත් ඒ ටික එහෙමමයි. විෂයයක් කියල හිතන්නැතුව භාෂාවක් කියලා ඉගෙනගන්නවනං ඉංග්‍රීසි ඒ තරං අමාරු නෑ. ඒ හින්ද අළුත් අවුරුද්දෙ එක ඉලක්කයක් විදියට ඉංග්‍රීසි දැනුම වැඩිකරගන්න එකත් එකතු කරගත්තොත් අනාගතයට ඒක වැදගත් වේවි. 


මතකයිනෙ. 19 තමයි දවස. 

Thursday, April 2, 2015

හිතෙන හැටි



අප්‍රේල් මාසෙ උදා වෙලා. මේ කාලයට හැමෝම කියන්නෙ වසන්තය කියලා. අළුත් අවුරුද්ද සමරලා, අළුත් ඇඳුම් ඇඳලා, පරණ හිතමිත්‍රකම් අළුත් කරගෙන සතුටු වෙන කාලය. පහුගිය අවුරුදු හතරෙ වගේම මේ අවුරුද්දෙත් බ්ලොග්කරුවන්ගේ මහා මංගල්‍යය විදියට හඳුන්වන සයිබර් සිහින බක්මහ උළෙල පවත්වන්නත් කටයුතු සූදානම් කරලා තියෙනවලු. 
ඒ එක්කම මේ දවස් වල ඈලි මෑලි දුබල වෙලා තියෙන සිංහල බ්ලොග්කරුවන් නැවත බ්ලොග් ලියන්න උනන්දු කරවන්න කියලා තවත් ව්‍යාපාරයක් පටන් අරගෙන. ඒකට කියන්නේ බ්ලොග් වසන්තය කියලා. ඒ කියන්නෙ තුම්මුල්ලෙ පද්මෙ, කඩුවෙල වසන්ත වගේ කෙනෙක් නෙමෙයිලු. පරණ බ්ලොග්කාරයින් කීප දෙනෙක් එකතු වෙලා කරන වැඩසටහනක් කියලයි කියන්නෙ. 
මේ පාර අළුත් අවුරුද්ද වෙනුවෙන් අක්‍රීය වෙලා තියෙන සිංහල බ්ලොග් වල මකුළුදැල් කඩලා, තීන්ත ගාලා අළුතින් ලියන්න පටන්ගන්න කියල ඒ ගොල්ල යෝජනා කරනවා. ඉතින් අවාසනාවට මං යලට මහට හරි ලියපු බ්ලොග් දෙකම අහිමි වුන හින්දා අළුතින්ම බ්ලොග් එකක් පටන්ගන්න හිතුවා.
ඒක තමයි මේක. පුලු පුලුවන් වෙලාවට මේක අප්ඩේට් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරේ අප්‍රේල් 19 වෙනිදා වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයට යන්නත් තියෙනවනෙ. එහෙනං සයිබර් සිහින බක්මහ උළෙලෙදි හමුවෙමු. එතකං ඉඩ තියෙන වෙලාවට මේ පැත්තෙ ඇවිත් යන්න එන්නකො.