Friday, April 6, 2018

ලෝක සෞඛ්‍ය දිනය සහ සියලු පුරවැසියන්ට සමානව සෞඛ්‍ය පහසුකම් ලැබීමේ අපේක්ෂාව...


ලෝක සෞඛ්‍ය දිනය, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 1948 වසරේ සිට සෑම වසරකම අප්‍රේල් මස 07 වන දින සමරනු ලබයි. මෙවර ලෝක සෞඛ්‍ය දිනය සමරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ දී ය. 70 වන ලෝක සෞඛ්‍ය දිනයේ තේමාව වන්නේ "Universal Health Coverage: Everyone Everywhere" යන්න යි. මෙවර ලෝක සෞඛ්‍ය දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය Tedros Adhanom මෙසේ පවසයි.


“Health is a human right. No one should get sick or die just
because they cannot access the services they need.”
"සෞඛ්‍යය යනු මානව අයිතිවාසිකමකි. අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් කිසිවෙක් රෝගී විය යුතු හෝ මිය යා යුතු නොවේ."




ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලෝක ජනගහනයෙන් හරි අඩකට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා ලැබෙන්නේ නැත. එමෙන්ම සෞඛ්‍යය සඳහා වන වියදම් හේතුවෙන් මිලියන 100 කට අධික ජනතාවක් ජීවත් වන්නේ අන්ත දුප්පත්කමෙන් (දිනකට ඩොලර් 1.90 ට වඩා අඩු ආදායමක් සහිත) පීඩා විඳිමිනි. ලෝක ජනගහනයෙන් 12% ක් හෙවත් මිලියන 800 කට සිය ආදායමෙන් 10% ක් සෞඛ්‍ය වියදම් වෙනුවෙන් වැය කිරීමට සිදුව ඇත. මෙම තත්ත්වය අතිශය අප්‍රසන්න තත්ත්වයකි. මෙම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) යට‍තේ 2030 වන විට Universal Health Coverage (UHC) හෙවත් සාර්ව සෞඛ්‍ය රක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වාදීමට එකඟ වී සිටිති.

UHC යන්නෙන් අදහස් කරන්නේ ආර්ථික අපහසුතාවයකින් තොරව සියලු ප්‍රජාවට තම සෞඛ්‍ය අවශ්‍යතා සපුරාගැනීමට අවශ්‍ය පහසුකම් සැළසීම යි. සෞඛ්‍ය ප්‍රවර්ධනයේ සිට රෝග වැළැක්වීම, ප්‍රතිකාර, පුනරුත්ථාපනය සහ මරණාසන්න රෝග වලින් පීඩා විඳින පුද්ගලයන්ට අවශ්‍ය සේවාවන් දක්වා අත්‍යවශ්‍ය සියලු සෞඛ්‍ය පහසුකම් සැපයීම ඊට අදාළ වේ. UHC මගින් අවශ්‍ය පුද්ගලයන්ට අදාළ සේවා වෙත බාධාවකින් තොරව ප්‍රවේශ වීමේ අවස්ථාව සළසා දෙයි. එමෙන්ම එළෙස සපයනු ලබන සේවාවන් ප්‍රමාණවත් ගුණාත්මක බවකින් යුක්ත විය යුතු අතර එම සේවාවන් සඳහා ගෙවීම් කිරීමට තම මුදල් වැය කිරීමට සිදු නොවිය යුතුය. 




UHC යන්නෙන් සම්පූර්ණයෙන්ම පුද්ගලයන් වෙත නොමිලේ සෞඛ්‍ය සේවා සැපයීම අපේක්ෂා නොකරයි. එහෙත් සෞඛ්‍ය වියදම් ප්‍රතිපූර්ණය සඳහා විධිමත් රක්ෂණ ක්‍රමවේදයක් අවශ්‍යතාවය තිරසාර සංවර්ධන ඉලක්ක පෙන්වා දෙයි. එමෙන්ම UHC යනු සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමට ආර්ථීක පහසුකම් සැළසීම පමණක් නොවේ. සෞඛ්‍ය සේවාවන්හි ගුණාත්මක තත්ත්වය පවත්වාගෙන යාමට, අදාළ සෞඛ්‍ය පහසුකම් තවදුරටත් දියුණු කිරීමට සහ සියලු පුරවැසියන්ට සමාජ, ආර්ථික හෝ වෙනත් බෙදීම් නොසලකා සමාන සෞඛ්‍ය පහසුකම් ලබා දීමට ද UHC මගින් අපේක්ෂා කෙරේ.

UHC හි වර්තමාන තත්ත්වය ඇගයීම සඳහා මූලික නිර්නායක දෙකක් භාවිතා කරනු ලබයි.

  1. රටක ජනගහනයෙන් කුමන ප්‍රතිශතයකට අත්‍යවශ්‍ය සහ ගුණාත්මක සෞඛ්‍ය සේවාවන් වෙත ප්‍රවේශ විය හැකි ද?
  2. රටක ජනගහනයෙන් කුමන ප්‍රතිශතයක් සෞඛ්‍යය සඳහා තම ඉපැයීම් වලින් විශාල ප්‍රමාණයක් වැය කරන්නේ ද?

ජාත්‍යන්තර දර්ශක වලට අනුව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව සාපේක්ෂව ඉහළ ගුණාත්මක තත්ත්වයක ඇත. මෙරට පුද්ගල ආයු අපේක්ෂාව කාන්තාවන් සඳහා අවුරුදු 78 ක් සහ පුරුෂයන් සඳහා අවුරුදු 72 කි. එය දකුණු ආසියානු කලාපයේ ඉහළම අගයයි. එමෙන්ම මෙරට ළදරු මරණ අනුපාතිකය පසුගිය වසර 70 තුල දරු උපත් 1000 කට මරණ 149 සිට 9.9 දක්වා අඩු වී තිබේ. රජය වසරකට එක් පුද්ගලයකුගේ සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් ඩොලර් 369 ක් වැය කරන අතර සමස්ථ සෞඛ්‍ය වියදම රටේ දළ ජාතික ආදායමෙන් 3.5% කි. පසුගිය වසර 25 ක කාලය තුල රජයේ රෝහල් සංඛ්‍යාව 25.2% කින් ඉහළ ගොස් ඇති අතර රෝහල් ඇඳන් සංඛ්‍යාව 53.3% කින්, වෛද්‍යවරුන් සංඛ්‍යාව 180.9% හා හෙද නිළධාරිනියන් සංඛ්‍යාව 170.9% කින් ඉහළ ගොස් ඇත.

එහෙත් පසුගිය වසර 30 ක කාලය තුල බෝ නොවන රෝග (දියවැඩියාව, අධි රුධිර පීඩනය, ඇදුම හා හෘදයාබාධ) හේතුවෙන් මිය යන සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ ගොස් ඇත. එමෙන්ම ඉදිරි දශක දෙක තුල මෙරට වැඩිහිටියන්ගේ ප්‍රතිශතය සීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර වසර 2041 වන විට සෑම පුද්ගලයන් සිව් දෙනෙකුගෙන්ම එක් අයෙක් වයස්ගතවූවෙක් වනු ඇතැයි ගණන් බලා ඇත. එකී සේවා අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගැනීම සඳහා සෞඛ්‍ය පහසුකම් දියුණු කළ යුතුව ඇත. එමෙන්ම නාගරික ප්‍රජාව අත්විඳින සෞඛ්‍ය පහසුකම් ග්‍රාමීය ප්‍රදේශ වල ජනතාවට තවමත් ලැබෙන්නේ අඩුවෙනි. විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍යවරුන් නොමැති වීම, ප්‍රමාණවත් පරීක්ෂණ පහසුකම් නොමැති වීම සහ කාර්යමණ්ඩල හිඟය වැනි හේතු නිසා ඇතැම් සෞඛ්‍ය පහසුකම් අවම වී තිබේ. 

එබැවින් සාර්ව සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක අවශ්‍යතාවය මෙරට සමාජයෙන් බැහැර කළ යුතු නොවේ. එබැවින් තනි පුද්ගලයන් වශයෙන් සහ ප්‍රජාව වශයෙන් සාර්ව සෞඛ්‍ය රක්ෂණයේ අපේක්ෂාවන් සහ පොදුවේ තිරසාර සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීම ඳහා අපගේ දායකත්වය ලබා දීම වඩා යහපත් හෙටක් උදා කර ගැනීමට හේතු වනු ඇත. 

ඒ සඳහා අපගේ සෞඛ්‍ය අවශ්‍යතා, අදහස් හා යෝජනා පිළිබඳ දේශපාලන සහ අනිකුත් වගකිවයුතු නායකයන් සමග සාකච්ඡා කිරීම, සමාන සෞඛ්‍ය අවශ්‍යතා සහිත කණ්ඩායම් වශයෙන් තම පොදු අවශ්‍යතා පිළිබඳ හඬ නැගීම, රෝග වලින් සුවය ලැබීම/වැලකීම සහ ඒ සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ග පිළිබඳ කතාන්තර ජනමාධ්‍ය මගින් අන් අයට දැනගැනීමට සැලැස්වීම ආදිය ප්‍රජාවට සිදු කල හැකි ක්‍රියාකාරකම් ලෙස හැඳින්විය හැකිය. එමෙන්ම ජනමාධ්‍ය වලට ද එවැනි ක්‍රියාමාර්ග වලට අවශ්‍ය සහය ලබා දීමේ වගකීමක් තිබේ. විශේෂයෙන්ම 1978 Alma-Ata (අල්මා - අටා) ප්‍රකාශනයෙන් පිළිගෙන ඇති පරිදි ප්‍රජාවට බලපාන සෞඛ්‍ය තීරණ "සැළසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, නියාමනය සහ ඇගයීම" යන සියලු පියවරයන්හිදී ප්‍රජාවේ සක්‍රීය සහභාගීත්වය සහ දායකත්වය අපේක්ෂා කෙරේ. 

"Nothing about me, without me"

එබැවින් වඩා යහපත් සෞඛ්‍යයක් උදෙසා දායක වන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සියලු ලෝකවාසීන් වෙත ආරාධනා කරයි.



Wednesday, March 28, 2018

ලිංගික අධ්‍යාපනය, ඒඩ්ස් සහ සමලිංගිකත්වය ඉගැන්වීම


ඒ අප 8 වන ශ්‍රේණියට පාස් වූ දවස් ය. අලුතින් ලැබෙන අටෝරාසියක් අච්චු පොත් අතර එක් වෙනස් ආකාරයේ පොතක් විය.  'උදා වූ යෞවනය' වර්ණ ඔප දැමූ කඩදාසියේ මුද්‍රණය කර තිබූ එහි නම විය. ඒ වෛද්‍ය තාරා ද මෙල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කල යුගයයි. ඒ කාලයේ ආරම්භ කරන ලද ඇතැමුන් විසින් 'ලිබරල්' යැයි හඳුන්වා දුන් ජීවන නිපුනතා විෂය නිර්දේශයට ඇතුලත් කිරීම, සත්ත්ව විද්‍යාව වෙනුවට ජීව විද්‍යා විෂයය හඳුන්වා දීම ආදී ප්‍රතිසංස්කරණ වල එක් පියවරක් වූයේ යොවුන් වියට පිවිසෙන යෞවනයන්ට මූලික ලිංගික අධ්‍යාපනයක් ලබා දීම විය යුතුය. 
Image result for sex education in schools
එහෙත් පොත ගෙදර ගෙනා හැටියේම අපේ අම්මා කිව්වේ 'අම්මෝ දැන් කාලෙ ළමයින්ට උගන්නන දේවල්' කියා ය. වාසනාවට ඇය එතනින් එහාට කිසිවක් කීවේ නැත. එහෙත් මට වඩා උපායශීලීත්වයෙන් මුහුකුරා ගිය බොහෝ මිතුරන් ඒ පොත දෙමාපියන්ට හසු නොවන පරිදි සඟවාගෙන කියවූ අතර ඒ වසරින් පසුව නැවත ශිෂ්‍ය කණ්ඩායමකට ලබා දීමට කිසිවෙක් ඒ පොත ආපසු බාර දී නොතිබිණි. ගුරුවරුන්ට ද එය එසේ විධිමත්ව එකතු කරගෙන නැවත ලබා දීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැත.

උදා වූ යෞවනය ලත් තැනම ලොප් වූ අතර ලිංගික අධ්‍යාපනය පිළිබඳ පාඩමක් ඊට පසු වසරේ සිට සෞඛ්‍යය සහ ශාරීරික අධ්‍යාපනය විෂය නිර්දේශයට එක් විය. නමුත් එයින් සිදු වූයේ මෙරට අධ්‍යාපනය ආරම්භ වූ දා සිට කිසියම් පාඩමක් සෑම ගුරුවරයෙක් විසින් ම හිතාමතාම අතපසු කර ඇත්නම් ඒ පාඩම බවට එකී ලිංගික අධ්‍යාපනය පාඩම වාර්තාගත වීමයි.

ශ්‍රී ලංකාව තුල සුළඟින් ඒඩ්ස් බෝවන, ලිංගික අනන්‍යතාවයන් හාස්‍යයට ලක් කෙරෙන, සමලිංගික තරුණයාට/තරුණියට විෂමලිංගික විවාහයකට බල කෙරෙන සහ ලිංගිකත්වය/ලිංගික නැඹුරුව දේශපාලන කුණුහරුපයක් වන සමාජයක් බිහි වන්නේ එකී අධ්‍යාපන පසුබිමක් තුල ය. පියා එච්.අයි.වී. ආසාදිතයකු වීම නිසා කුලියාපිටියේ දරුවාට පාසලක් අහිමි කල ගම්වැසියන්ගෙන් ආරම්භ වී ආණ්ඩුවේ වැරදි ලිංගික කෝණයෙන් දකින විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා දක්වා දිවෙන ලිංගිකත්වය පිළිබඳ නොදන්නා කමේ උදාහරණ විසින් නැවත නැවත ඔප්පු කර පෙන්වන්නේ ගුරුවරුන්ගේ ලැජ්ජාව හෝ අධ්‍යාපන පද්ධතිය තුල පවතින නොහැකියාව තුල පාසලෙන් පිටවන යෞවනයා හෝ යෞවනියගේ ලිංගිකත්වය පිළිබඳ දැනුම ශූන්‍ය බව ය.
Image may contain: textImage may contain: textImage may contain: text
එක්තරා සංවිධානයක් විසින් ආරම්භ කිරීමට යන අධ්‍යාපන වැඩසටහනක් පිළිබඳ දේශපාලන මඩ ගැසීමේ ව්‍යාපාරයක් ආරම්භ වන්නේ මෙකී පසුබිම තුල ය. මෙම පාඩම් මාලාව තුලින් ඉගැන්වීමට බලාපොරොත්තු වන දේ පිළිබඳ මට අවබෝධයක් නැතත් ප්‍රතිපත්තිමය වශයෙන් මෙරට පාසල් ශිෂ්‍යයාට විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලැබීමේ පසුබිමක් නිර්මාණය විය යුතු බව මගේ හැඟීමයි. එවිට ගම්පහ පාසලේ පහ වසරේ ඉගෙනුම ලබන දැරිය වැනි තවත් දරු දැරියන්ගේ ජීවිත නිකරුණේ කාලකන්නි කිරීමේ පාපයෙන් මිදීමට විදුහල්පතිවරුන්, දෙමාපියන් ඇතුලු සමස්ථ සමාජයට හැකියාව ලැබෙනු ඇත.

පසුගිය දශකයක පමණ කාලය තුල ශ්‍රී ලංකාව තුල අනවශ්‍ය ආකාරයේ සමලිංගිකත්ව භීතිකාවක් ඇති කර තිබේ. එක් ආකාරයකින් විවිධ දේශපාලනඥයන්ට එරෙහි දේශපාලනමය මඩ ගැසීමක් දක්වා යන බලය පවත්වාගැනීමේ ක්‍රමවේදයක් ලෙස ක්‍රියාත්මක වන මෙකී භීතිකාව අනෙක් පසින් අලුතින් ආරම්භ කරන කුමන හෝ ක්‍රියාවකට එරෙහිව සමාජය උසිගැන්වීම තුලින් එය අඩපන කිරීමට ඉතා ලැජ්ජාසහගත අයුරින් භාවිතාවේ යොදවන අවියක් බවට පත් කරගෙන තිබේ. ඊට බොහෝ උදාහරණ මෑත සමාජයෙන් සොයාගත හැකිය.

මීට වසර ගණනාවකට පෙර ශ්‍රී ලංකාවේ එච්.අයි.වී. ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වූ සමයේ එක්තරා රාජ්‍ය නොවන සංවිධානයක් විසින් අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා වලින් වැලකීමට උපත් පාලන කොපු ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතියක් දියත් කරන ලදී. ඊට එරෙහිව 'ගවේශනාත්මක මාධ්‍යකරණයක' නියැලුණු එක්තරා ජාතික මට්ටමේ පුවත්පතක් අදාළ සංවිධානය 'සමලිංගිකත්වය ප්‍රචලිත කිරීමට' කටයුතු කරන්නේ යැයි ව්‍යාපාරයක් පවත්වාගෙන යන ලදී. එහෙත් අද වන විට රජය විසින් වසරකට උපත් පාලන කොපු මිලියන තුනකට වැඩි ප්‍රමාණයක් ලිංගික වශයෙන් සක්‍රීය පුද්ගලයන් (පවුල්, වානිජ ලිංගික වෘත්තිකයන් සහ තරුණ ප්‍රජාව) වෙත නොමිලේ බෙදා හරිනු ලබයි.
Image result for කොන්ඩම් ඒඩ්ස්Image result for කොන්ඩම් ඒඩ්ස්
ඇතැම් විට මෙකී සමලිංගිකත්වය ඉගැන්වීමේ කතාව ද මීට සමාන විය හැකිය. එබැවින් එකී දේශපාලන උවමනාවට එහා යමින් සත්‍ය නිසි පරිදි සමාජගත කිරීම ජනමාධ්‍යයේ ද වගකීමක් වන්නේ ය. ඒ අයුරින්ම යෞවනයේ සහ යෞවනෝදයේ සිටින දරු දැරියන්ට නිසි හා නිවැරදි ලිංගික අධ්‍යාපනයක් ලබා දීමට අවශ්‍ය පියවර ගැනීම අධ්‍යාපන අමාත්‍යංශය සතු වගකීමකි. වැඩිවියට පත් විම, ලිංගික සනීපාරක්ෂාව, අතවරයන්ගෙන් ආරක්ෂා වීම, පුද්ගල ලිංගික අනන්‍යතාවයන්, අනවශ්‍ය ගැබ්ගැනීම් වැලැක්වීම සහ ලිංගාශ්‍රිතව බෝවන රෝග පිළිබඳ නිසි අධ්‍යාපනයක් ලබා දීම තවත් දරුවකුට පාසලක් අහිමි කිරීම වලක්වන පියවරක් විය හැකි වන අතරම ලිංගාශ්‍රිත රෝග වැළඳීම අවම කිරීමට, පුද්ගලයන්ගේ ලිංගික අනන්‍යතාවය හේතුවෙන් මුහුණ දීමට සිදු වන අතවරයන්ගෙන් වැළකීමට, අනවශ්‍ය ගැබ් ගැනීම් නිසා ඇති වන ගබ්සා කිරීම් අවම කිරීමට මෙන්ම දේශපාලන වේදිකාවේ කුණුහරුපයක් බවට ලිංගික අනන්‍යතාවය පත්වීම වැලැක්වීමට ද හේතු වනු ඇත.
Image result for condom sri lanka

Friday, March 16, 2018

ආබාධය බාධාවක් කර නොගනු පිණිස...


මහජන ආරක්ෂක පනතේ විධිවිධාන යටතේ ජනාධිපතිවරයා සතු හදිසි නීති බලතල උපයෝගී කරගනිමින් ෆේස්බුක් අැතුලු සමාජ මාධ්‍ය වාරණය කෙරුණේ පසුගිය සතියේ ය. දින තුනකට නං කමක් නෑ යි කියූ පිරිසක් ද සිටි නමුත් ලක්ෂ 7 කට ආසන්න පිරිසක් VPN ඔස්සේ ෆේස්බුක් වෙත පිවිසි බව ඩිජිටල් පහසුකම් අමාත්‍යවරයා පවසයි. එතරම්ම ජන මනසට සමීප ෆේස්බුක් හොඳට නරකට දෙකටම භාවිතා කල හැකි මෙවලමකි. කෙසේ වුවද වසර දහයකට ආසන්න මගේ ෆේස්බුක් අත්දැකීම් වඩා නැඹුරු වන්නේ යහපත් දිශාවට ය. එදා මෙදා තුර සයිබර් අවකාශය තුල හමු වූ මිතුරු මිතුරියන්, අවස්ථාවන් සහ සම්බන්ධතා ප්‍රමාණය අති මහත් ය. එවන් මිතුරු සමාගම් හේතුවෙන් ඉතා වැදගත් අවස්ථාවකට සහභාගී වීමට පසුගිය ඉරිදා (18) මට අවස්ථාව ලැබිණි. මේ සටහන ඒ වෙනුවෙනි. 

ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ජනතා සම්මේලනයේ කාන්තා බලමණ්ඩලය සංවිධානය කල කාන්තා දින වැඩසටහනක දේශනයක් පවත්වන්නැයි මට ආරාධනා කරන ලද්දේ සහෘද බ්ලොග් ලේඛිකාවක වන වෛද්‍ය බෝධිනී සමරතුංග සොයුරියයි. එහිදී මා කල දේශනය බ්ලොග් සටහනක් ලෙස පළ කරන්නැයි ඇයත්, තරුරසී සොයුරියත්, සත්‍යා සොයුරියත් කරන ලද ඉල්ලීම අනුව එහි යම් පමනකට සංස්කරණය කරමින් වඩා පුලුල් සටහනක් සකස් කලෙමි. මේ එකී සටහනයි.

ලෝකයේ ජීවත් වන ආබාධ සහිත පුද්ගලයන්ගෙන් අති බහුතරය දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයන් ය. සෞඛ්‍ය සංවිධානයට අනුව ඔවුන්ගේ සංඛ්‍යාව මිලියන 253 කි. එයින් මිලියන 36 ක් පූර්ණ ලෙස අන්ධ භාවයට පත් වූවන් ය. පෙනීමේ දුර්වලතා සහිත පුද්ගලයන්ගෙන් 53% කට ඇස් කණ්නාඩි පැළඳීම මගින් පෙනීම නැවත ලබා ගත හැකි නමුත් එයින් සැළකිය යුතු පිරිසකට උපැස් යුවලක් මිළ දී ගැනීමේ හැකියාවක් නොමැත. ලෝකයේ දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව 2050 වන විට තුන් ගුණයකින් වැඩි වනු ඇතැයි උපකල්පනය කර තිබේ.
Image result for visual impairment
දෘෂ්‍යාබාධිත බව නිසා සිදු වන සමාජ සහ ආර්ථික වැය බර අති විශාලය. වර්ෂ 2015 දී දෘෂ්‍යාබාධිත බව හේතුවෙන් ලෝකයට ඇති වන වැය බර එ.ජ. ඩොලර් බිලියන 3369 ක් ලෙස ගණන් බලා ඇත. එය 2020 වන විට බිලියන 3677 ක් වනු ඇතැයි ගණන් බලා ඇත. මේ විශාල මුදල් ප්‍රමාණය වැය වන්නේ කෙසේ ද? 2015 වර්ෂයේ දත්ත අනුව දෘෂ්‍යාබාධිත බව හේතුවෙන් ඇති වන සෘජු වියදම් එ.ජ. ඩොලර් බිලියන 2529 කි. ඒ ඔෘෂධ, ආහාර සහ වෙනත් වියදම් සඳහා ය. සුබසාධන වියදම් ප්‍රමාණය බිලියන 259 කි. දෘෂ්‍යාබාධිත බව නිසා අහිමි වන ශ්‍රමයේ වියදම බිලියන 175 කි. දෘෂ්‍යාබාධිත පුද්ගලයන් නිවසේ දී රැක බලා ගැනීමට යන වියදම ඩොලර් බිලියන 273 ක් ලෙස ගණන් බලා තිබේ. දෘෂ්‍යාබාධිත බව නිසා අහිමි වන නිරෝගී ජීවිතයේ වියදම (Disability-Adjusted Life Year - DALY) ඩොලර් බිලියන 133 කි. 

මේ වැය බර අඩු කරගත හැක්කේ කෙසේ දැයි ලොව පුරා ආර්ථික විශේෂඥයෝ සාකච්ඡා කරති. කිසියම් ප්‍රතිඵලයක් නැති කිරීමට නම් ඊට හේතුව නැති කල යුතු යැයි බුදු දහමේ දැක්වෙයි. ඒ අනුව දෘෂ්‍යාබාධිත බව නිසා ඇති වන වැය බර අඩු කිරීමට දෘෂ්‍යාබාධිත බව අවම කල යුතුයැයි මම සිතමි. එය කල හැක්කේ කෙසේද? ආබාධිත බව ඇති වන්නේ කිසියම් අහිමි වීමක් (impairment) නිසා ය. එකී අහිමි වීම නිසා අනිත් 'සාමාන්‍ය' පුද්ගලයන් කරන ආකාරයට කටයුතු කිරීම අපහසු වේ. එය ආබාධිත බව (disability) ලෙස හැඳින්වේ. කිසියම් පුද්ගලයකුට සිදු වන අහිමි වීම් වැලැක්විය නොහැකිය. එහෙත් අහිමි වීම් හේතුවෙන් ඇති වන ආබාධිත බව අවම කළ හැකිය. 

දෘෂ්‍යාබාධිත පුද්ගලයන් ආබාධිත වීමට බලපාන විවිධ‍ හේතු තිබේ. ඉන් පළමුවැන්න වන්නේ දෘෂ්‍යාබාධය හේතුවෙන් අවට පරිසරය දැක තම වටපිටාව මනසින් නිර්මාණය කිරීමට ඇති වන නොහැකියාව යි. එය වෙනස් කල නොහැකි තත්ත්වයකි. එහෙත් එම තත්ත්වය හේතුවෙන් ඇති වන වැඩ කරගැනීමේ නොහැකියාව අවම කිරීමට පරිසරය වෙනස් කල හැකිය. ප්‍රධාන මාර්ග වල ආබාධ සහිත පුද්ගලයන්ට සංවේදී වන පදික වේදිකා (උදා: කොල්ලුපිටිය), කථන පහසුකම් හෝ ශබ්ද සංඥා සහිත පාර මාරු වීමේ ස්ථාන, බ්‍රේල් ලේඛන, audio books එවැනි වෙනස්කම් වලට උදාහරණයන් ය. ඔබ අප ඉතා සරළ යැයි සිතන මෙවැනි සුළු වෙනස්කම් වලින් දෘෂ්‍යාබාධිත පුද්ගලයා තම කටයුතු සැළකිය යුතු ප්‍රමාණයකින් දියුණු කර ගනියි. 
Image result for visual impairment

දෙවැන්න වන්නේ ඔවුන් මුහුණ දෙන සෞඛ්‍යමය ගැටලු ය. දෘෂ්‍ය සහ ශ්‍රවන ආබාධ වලින් පෙළෙන පුද්ගලයන් විවිධ මානසික පීඩාවන්ට සහ විෂාදය වැනි තත්ත්වයන්ට මුහුණ දීමේ වැඩි අවදානමක් ඇති බව අධ්‍යයන වලින් පෙන්වා දී ඇත. එබැවින් එවැනි පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍යය නැංවීම ඉතා අත්‍යවශ්‍ය කරුණකි. එමෙන්ම දෘෂ්‍යාබාධිත බව හේතුවෙන් මුහුණ දීමට සිදු වන කායික, මානසික සහ ලිංගික අතවර අවම කිරීමට ද පියවර ගත යුතුව තිබේ. 

මෙවැනි බාහිර බාධාවන් අවම කිරීමට සමාජයට හැකියාව තිබේ නම් ඔවුන් සමාජයට ඵලදායී පුද්ගලයන් කිරීම අපහසු කරුණක් නොවේ. ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සමාජගත වීම ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකමක් ලෙස දක්වා තිබේ. දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයන් සමාජගත වීමට බලපාන ඉහත ආකාරයේ බාධාවන් අවම කිරීමට සමාජයට හැකි නම් ඔවුන් ප්‍රධාන ධාරාවේ අධ්‍යාපන සහ වෘත්තීය අවස්ථා භුක්ති විඳිනු ඇත. එය ඔවුන් නිසා ලෝකය දරන වියදම සැළකිය යුතු ප්‍රමාණයකින් අවම කරනවා පමණක් නොව නිෂ්පාදන ක්‍රියාවලියට දායක වීම තුලින් ඔවුන් ලෝකයට නව ආදායම් උත්පාදනය කිරීමට ද දායක වනු ඇත.

පවතින තත්ත්වය වෙනස් කිරීම සඳහා දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ට ද, දෘෂ්‍යාබාධිත නොවන පුද්ගලයන්ට ද සමාන වගකීමක් ඇත. තනි පුද්ගලයන් වශයෙන්, කණ්ඩායම් වශයෙන් සහ සමස්ථ සමාජය වශයෙන් අපට ඒ සඳහා දායක විය හැකිය. යහපත් පෙනීමක් සහිත ඔබ, තනි පුද්ගලයන් වශයෙන් ඔබට හමු වන ඇසුරු කරන දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ට අනුකම්පා කර උදව් කිරීමට ඉදිරිපත් වීම සුදුසු නොවේ. ඔහු හෝ ඇය අභිමානයක් සහිත පුද්ගලයෙකි. ඔහුට ඇතැම් දේ ස්වාධීනව කර ගැනීමට හැකියාව තිබෙනවා වන්නට පුලුවන. එසේ නොවන අවස්ථා වලදී ඔවුන් ඔබේ උදව් ඉල්ලා සිටිනු ඇත. එහෙත් උදව් අවශ්‍ය නම් තමා උදව් කිරීමට සූදානම් බව හැඟවීම උදව් ඉල්ලීමට ඔවුන් දිරිමත් කරනු ඇත. ආබාධිත නොවන පුද්ගලයකුට දක්වන ආකාරයේ සමාන පිළිගැනීමක් ලැබීමට ඔවුන්ට සුදුසුකම් ඇත. 
Image result for visual impairment accessibility ඔවුන් මුහුණ දෙන බාධාවන් අවම කිරීමට අවශ්‍ය පියවර කණ්ඩායමක් වශයෙන් ඔබට ගත හැකිය. උදාහරණයක් ලෙස ඔබගේ සේවා ස්ථානය දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයකුට බාධාවකින් තොරව සේවය කල හැකි ආකාරයේ තැනක් බවට පත් කිරීමට පියවර ගත හැකිය. එමෙන්ම සමාජය වශයෙන් එවැනි පුද්ගලයන්ට බාධාවකින් තොරව, හැකි තාක් ආබාධ නොමැති පුද්ගලයකු හා සමානව සමාජගත වීමට, අධ්‍යාපනය ලැබීමට, රැකියාවක නිරත වීමට සහ සමාන අවස්ථා ලබාගැනීමට අවස්ථාව ලබා දීමට පියවර ගත යුතු ය. දෘෂ්‍යාබාධ සහිත ප්‍රජාවගේ ආබාධිත බව අවම කිරීමටත්, ආබාධය හේතුවෙන් ඇති වන වැය බර අවම කිරීමටත් ඔබට දායක විය හැක්කේ ඒ අයුරිනි.

දෘෂ්‍යාබාධ සහිත ප්‍රජාව ට ද තනි පුද්ගලයන්, කණ්ඩායම් සහ ප්‍රජාව වශයෙන් කල හැකි කාර්යභාරයක් තිබේ. පසුගිය දා මා විසින් සවිස්තරාත්මකව පැහැදිලි කලේ ඒ සම්බන්ධයෙනි. ඔබ දෘෂ්‍යාබාධිත අයෙකු නම්, තනි පුද්ගලයෙක් වශයෙන් ඔබ මුහුණ දෙන අභියෝග නිවැරදිව හඳුනාගැනීම ඉතා වැදගත් ය. ඒවා අවම කිරීමට තනිව ගත  හැකි ක්‍රියාමාර්ග හෝ නව ක්‍රමවේදයන් පුහුණු වීමත්, අවශ්‍ය අවස්ථාවේ සහය ඉල්ලා සිටීමත් කල හැකිය. විශේෂයෙන්ම කොන් කිරීමට, වෙනස් කොට සැලකීමට සහ අතවරයන්ට ලක් වීමට බොහෝ සේ ඉඩ ඇති බව තේරුම් ගත යුතු ය. ඒවායින් මානසික පීඩාවන් ඇති වන්නේ නම් ඊට අවශ්‍ය වෛද්‍යමය සහ නීතිමය සහය ඉල්ලා සිටිය හැකිය. 
Image result for visual impairment accessibility කණ්ඩායම් වශයෙන් දෘෂ්‍යාබාධිත ප්‍රජාවට තම තමන් මුහුණ දෙන පොදු ගැටලු විසඳාගැනීමට එක් එක් අය ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම තුලින් එම දැනුම හුවමාරු කරගැනීම ඉතා වැදගත් කරුණකි. කණ්ඩායමක් වශයෙන් ගැටලු විසඳා ගැනීමට කටයුතු කිරීම මගින් තනිව යා හැකි දුරට වඩා බොහෝ දුර යා හැකිය. එමෙන්ම ප්‍රජාවක් වශයෙන් සමාජයේ තමන්ට අහිමි වන අවස්ථා ලබාගැනීමට අදාළ බලධාරීන් වෙත බල කිරීම අත්‍යවශ්‍ය කරුණකි. මීට පෙර සිටි එවැනි පුද්ගලයන් කල උද්ඝෝෂණ නොවන්නට ඔබ අද ලබන වරප්‍රසාද පවා නොලැබීමට ඉඩ තිබිනි. යමක් ලබා ගැනීමට ඉල්ලා සිටිය යුතුය. එය කල හැක්කේ ඔබ ප්‍රජාවක් වශයෙන් එකතු වන්නේ නම් පමණි. දෘෂ්‍යාබාධිත ප්‍රජාව පමණක් නොව සියලු ආකාරයේ ආබාධ සහිත ප්‍රජාව එක් කණ්ඩායමක් වශයෙන් වැඩ කිරීම තුලින් බොහෝ අහිමි වීම් අවම කරගත හැකි බවට ලෝකයේ බොහෝ උදාහරණ තිබේ. 
Image may contain: 7 people, including Pradeep Chandana Gunarathne, Kasun Nayanajith and Tharurasi Fernando, people smiling, people standing and indoor
දිනෙන් දින වැඩි වන දෘෂ්‍යාබාධිත ප්‍රජාවට ස්වාධින පුද්ගලයන් ලෙස සමාජගත වීමට සුදුසු වටපිටාවක් නිර්මාණය කිරීමට එක් වෙමු.

මූලාශ්‍ර:
01. World Health Organization - Vision impairment and blindness (fact Sheet) - October 2017

02. World Health Organization - Socio-economic aspects of blindness and visual impairment - (analysis) - 2003

03. AMD Alliance International - The Global Economic Cost of Visual Impairment - 16 March 2010 

Sunday, October 15, 2017

සුවපත් මනසක් - සුවැති වැඩ බිමක්


යන්තම් යමක් කමක් තේරෙන වයසෙ ඉඳල හැමෝගෙම ආසාව තමයි කොහොම හරි රස්සාවකට යන එක. සාමාන්‍යපෙළ හරි උසස්පෙළ හරි ඉවර කරපු දවසට පහුවදාම රස්සාවකට යන්න තමයි ට්‍රයි කරන්නෙ. හිසේ කෙස් ගානට ඉන්ටවීව්. විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කලාට පස්සෙත් කෑ ගහන්නෙ "රස්සා දියව්" කියල. ඔය තරම් මහන්සි වෙලා රස්සාවක් ගත්තට මොකද ගිහිල්ල මාසෙකින් බහුතරයකට රස්සාව එපා වෙලා. වැඩ වැඩියි, බොස් බනිනවා, නිවාඩු ගන්න බෑ, කරදර ගොඩයි. ගොඩක් අවස්ථාවල රැකියා ස්ථාන වල තියෙන පරිසරය සේවකයන්ට මිත්‍රශීලී නැති බව තමයි අහන්න ලැබෙන්නෙ. ඒ තත්ත්වය සේව්‍ය සේවක දෙපාර්ශවයටම අහිතකර විදියට බලපානවා. 

ලෝක මානසික සෞඛ්‍ය සම්මේලනය (WFMH) කියන විදියට සේවා ස්ථාන වල සිටින සෑම පුද්ගලයන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් කිසියම් මානසික ගැටලුවකින් පීඩා විඳිනවා. ඒ අතරින් සුලබ තත්ත්වයක් තමයි විෂාදය (Depression). ලෝකයේ වැඩ කරන ජනතාවගෙන් 10% ක් ජීවිතයේ කුමන හෝ අවස්ථාවක විෂාද තත්ත්වයන් හේතුවෙන් නිවාඩු ලබාගෙන තියෙනවා. නමුත් ඒ අයගෙන් බාගයක්ම දන්නෙ නෑ තමන් විෂාද තත්ත්වයෙන් පීඩා විඳින බව. මේ මානසික අසමතුලිතතාවය ඇති වන එක් අවස්ථාවකදි පුද්ගලයෙක් ලබාගන්න නිවාඩු ප්‍රමාණය දළ වශයෙන් වැඩ කරන දවස් 36 ක්. ඒ විතරක් නෙමෙයි ජපානයේ කරපු අධ්‍යයනයකට අනුව සේවකයන්ගෙන් 32.4% ක් බරපතල ලෙස කාංසාවෙන් (Anxiety) පීඩා විඳිනවා. මේ තත්ත්වය බලපාන්නෙ සේවකයන්ට විතරක් නෙමෙයි. සේවායෝජකයන්ටත් බලපානවා. චිලී රාජ්‍යයේ කරපු අධ්‍යයනයකට අනුව සේවකයන්ගෙන් 27.9% ක් සහ සේවායෝජකයන්ගෙන් 13.8% ක් ආතතිය සහ විෂාදයේ ලක්ෂණ පෙන්නුම් කරල තියෙනවා. 

මේ තත්ත්වය අපේ රටටත් පොදුයි. බස් එකේ, දුම්රියේ යන බොහෝ දෙනෙක් ඉන්නෙ සතුටු මුහුණකින් නෙමෙයි. අනික සේවා ස්ථාන වල ඵලදායීතාවය අඩු වෙන්නත් සේව්‍ය සේවක දෙපාර්ශවයේ මානසික අසමතුලිතතාවයන් හේතු වෙනවා. ඒ නිසා සේවා ස්ථානයේ යහපත් මානසික සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාම වැදගත් කාරණයක්. බොහෝ දෙනෙක් හිතන්නෙ මේක ආයතනයේ පරිපාලනය විසින් පමණක් අවධානය යොමු කළ යුතු කාරණයක් විදියට. නමුත් සේව්‍ය සේවක දෙපාර්ශවයටම යහපත් මානසික සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගැනීම සඳහා පියවර ගන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි පොදුවේ කර්මාන්ත ක්ෂේත්‍රය සහ රාජ්‍ය අංශය පවා මේ වෙනුවෙන් ක්‍රියාත්මක වීම අවශ්‍යයි.

ආයතනික මට්ටමින්, කර්මාන්ත ක්ෂේත්‍රය විදියට සහ රාජ්‍ය මට්ටමින් අපට කරන්න පුලුවන් මොනවද? 

01. නිරන්තර අවධානයෙන් සිටින්න - ඔබගේ ආයතනයේ සේව්‍ය සේවක කණ්ඩායම් වල ආතතිය ඇති විය හැකි අවදානම් අවස්ථා පිළිබඳ අවධානයෙන් සිටීම මගින් එවැනි අවස්ථා මඟහරවා ගැනීමටත්, ඉක්මනින් විසඳුම් සොයාගැනීමටත් අවස්ථාව ලැබේ.

02. වැලැක්වීමට පියවර ගන්න - රැකියාවේ ආතතිකාරී අවස්ථා ඇති වීම අවම කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්න. එහිදී පුහුණු වෘත්තිකයන්ගේ සහය අවශ්‍ය විය හැකිය. 

03. තීරණ ගැනීමේ ක්‍රියාවලියට සියලු දෙනා දායක කරගන්න - සේවා ස්ථානයේ දියුණුව සහ ඉදිරිය පිළිබඳ ගන්නා තීරණ වල දී සේව්‍ය සේවක දෙපාර්ශවයේ ම අදහස් සලකා බැලීමට පියවර ගන්න. එමගින් සේවක කණ්ඩායම් තුල තමා පිළිබඳ ආත්මාභිමානයක් අැති වන අතර තම සේවා ස්ථානයේ අයිතිය පිළිබඳ හැඟීමක් හා තෘප්තිකර බවක් ඇති වේ. 

04. කළමනාකරණය - සාර්ථක පුද්ගල කලමනාකරණ ක්‍රමවේද භාවිතා කරන්න. විශේෂයෙන්ම මානව සම්පත් කලමනාකරණ සහ සෞඛ්‍ය කලමනාකරණ ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන්න. හැකි සෑම අවස්ථාවක දී ම සේවකයාගේ හැකියාවට සහ කැමැත්තට ගැලපෙන වගකීම් පැවරීමට උත්සාහ කරන්න. කිසියම් පීඩාකාරී අවස්ථාවක දී තම ගැටලු සාකච්ඡා කල හැකි උපදේශන සේවාවක් ආයතනය තුල ස්ථාපිත කරන්න. යහපත් මානසික සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යා හැක්කේ කෙසේ දැයි කාර්යමණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කරන්න. 

05. සේවා ස්ථානයේ පරිසරය - මානසික බිඳවැටීම් සහ පීඩාකාරී අවස්ථා ඕනෑම අයෙකුට ඇති විය හැකිය. එවැනි අවස්ථාවල දී සේවකයා කොන් කිරීමට සහ වෙනස් කොට සැලකීමකින් තොරව එම තත්ත්වය මඟහරවාගෙන නැවතත් සේවයට පැමිණිය හැකි සේවා වටපිටාවක් ආයතන තුල ඇති කල යුතුය. ඒ සඳහා කාර්යමණ්ඩල පුහුණු කිරීම වැදගත් ය. බොහෝ අවස්ථා වල මානසික ගැටලු වලට ලක් වන පුද්ගලයන් රැකියා විරහිතභාවයට පත් වන්නේ සුවය ලැබූ පසු ඔහු රෝගී වීමට පෙර ලැබූ පිළිගැනීම නොලැබීම නිසා ය. 

පුද්ගලයන් විදියට අපට කරන්න පුලුවන් මොනවද?

ඔබ දැනට රැකියාවක් සොයන කෙනෙක් නම්;

01. ඔබ කැමති සහ අකමැති දේ මොනවා දැයි නිවැරදිව තීරණය කරන්න. තමන් කැමති ආකාරයේ රැකියාවක් කිරීම අකමැති ආකාරයේ රැකියාවක යෙදීමට වඩා තෘප්තිමත් බවක් ගෙන දෙයි.

02. ඔබේ හැකියාවන් සහ නොහැකියාවන් පිළිබඳ අවධානය යොමු කරන්න. ඔබගේ හැකියාවට ගැළපෙන වෘත්තියක් තෝරා ගන්න. 

03. ඔබට දැනට මානසික පීඩනයක් ඇති කරන කරුණු හා පරිසරය පිළිබඳ අවබෝධයක් ලබාගන්න. ඒවායින් මිදීමට හැකි කෙසේ දැයි සිතා බලන්න.

04. ඔබේ හැකියාවන් සහ සුදුසුකම් වර්ධනය කර ගැනීමට ඇති අවස්ථාවන් ගැන අධ්‍යයනය කරන්න. වැඩි සුදුසුකම් වැඩි අවස්ථා ඇති කරයි. 

05. ආතතිය කළමනාකරණය කර ගැනීමේ ක්‍රම, ආවේග පාලනය කර ගැනීමේ ක්‍රම ආදිය පිළිබඳ පුහුණුවක් ලබා ගන්න. 

ඔබ දැනට රැකියාවක යෙදෙන කෙනෙක් නම්;

01. ඔබ මුහුණ දෙන ගැටලුකාරී අවස්ථා වල දී ඔබේ සමීපතමයන් හෝ ආයතන ප්‍රධානීන් සමග ඒ පිළිබඳ සාකච්ඡා කරන්න. හැඟීම් ප්‍රකාශ කිරීම ම ප්‍රතිකාරයකි

02. ක්‍රියාශීලී වන්න - ව්‍යායාම කිරීම ඔබේ ශරීරය මෙන්ම මනස ද නිරෝගී කරයි. සතියට දින 3 ක් වත් ව්‍යායාම සඳහා ඇවිදීම, බයිසිකල් පැදීම, පිහිනීම වැනි ව්‍යායාමයක හෝ යෝගා වැනි ක්‍රියාකාරකමක නිරත වන්න. 

03. සමබර ආහාර වේලක් නිසි වෙලාවට ලබාගන්න - නිසි වෙලාවට නිසි ආහාර නොගැනීම ඔබේ කායික නිරෝගී බව මෙන්ම මානසික සමතුලිතතාවය ද නැති කරයි.

04. මත්ද්‍රව්‍ය ගැනීමේදී සැලකිලිමත් වන්න - හැකිතාක් මත්ද්‍රව්‍ය වලින් ඈත් වන්න. ඔබ මත්පැන් පානය කරන අයෙක් නම් කිසියම් මානසික පීඩාකාරී අවස්ථාවක දී ඊට වැඩියෙන් නැඹුරු වීමට ඉඩ ඇත. එය ඔබේ පීඩාව තවත් වැඩි වීමට හේතු වේ. එබැවින් එවැනි අවස්ථා පිළිබඳ සැලකිලිමත් වන්න.

05. යහපත් සමාජ සම්බන්ධතා පවත්වාගන්න - විශේෂයෙන්ම තම පවුලේ අය සහ මිතුරු මිතුරියන් ඇසුරු කරන්න. සමාජ සම්බන්ධතා වලින් ඈත් වීම මානසික පීඩාකාරී තත්ත්වයන් වලදී සුලබ තත්ත්වයකි. එ් පිළිබඳ අවධානයෙන් සිටිමින් එම සම්බන්ධතා අඛණ්ඩව පවත්වා ගැනීම වැදගත් ය.

06. අවශ්‍ය අවස්ථා වල දී උදව් ඉල්ලන්න - ඕනෑම අයෙකුට ඕනෑම අවස්ථාවක දී අන් අයගේ උපකාර අවශ්‍ය විය හැකිය. උදව් ඉල්ලීම මගින් ඔබ දුර්වලයෙක් යැයි නිගමනය නොවේ. එයින් අදහස් වන්නේ ඔබ උදව් ඉල්ලීමට තරම් බුද්ධිමත් සහ ශක්තිමත් බව ය. 

07. විවේකයක් ගන්න - ඇතැම් අවස්ථා වල අපට සේවයෙන් විවේක ගැනීමට අවශ්‍ය විය හැකිය. එයින් ඔබට නව ජවයකින් ඉදිරි වැඩ කටයුතු ආරම්භ කල හැකි වනු ඇත. විනෝද චාරිකාවක යෙදීම, විවේකී දිනයක් ගත කිරීම වැනි දේ ජීවිතයේ කොටසක් කර ගන්න. 

08. ඔබ ඔබ ම වන්න - ඔබේ අවශ්‍යතා, ඔබේ රුචි අරුචිකම් පිළිබඳ අවබෝධයක් ඇති කර ගන්න. ඒ අනුව කටයුතු කිරීමට බිය නොවන්න. අන් අයට ඔබ විනිශ්චය කිරීමට ඉඩ නොතබන්න. 

09. අන් අයට උදව් කරන්න - අන් අයට උදව් කිරීම විශාල තෘප්තියක් ඇති කරයි. උදව් අවශ්‍ය අයට උදව් කිරීම මගින් ඔබගේ වෘත්තීය වටපිටාව තෘප්තිකර එකක් වනු ඇත. 

10. නව මංපෙත් සොයා යන්න - දැනට යෙදෙන රැකියාව තවදුරටත් පීඩාකාරී වන්නේ නම් ඔබගේ හැකියාවට සහ කැමැත්තට වඩාත් ගැළපෙන වෘත්තීය අවස්ථා ගැන සොයා බලන්න. වෘත්තීය දියුණුවක් සෙවීම නරක ලක්ෂණයක් නොවේ.

උත්සාහ කරමු. සුවපත් මනසක් - සුවැති වැඩබිමක් ඇති කර ගනිමු.

මේ තියෙන්නෙ හිතෙන හැටි ෆේස්බුක් පිටුව. ලයික් එකක් දැම්මොත් ඊළඟට ලියන පෝස්ට් ගැන දැනගන්න පුලුවන්. 

Source - World Federation of Mental Health report 2017

Tuesday, October 3, 2017

හිත රිදෙනවද? එහෙනං නිවාඩු දවසෙ දියත උයනට එන්න...


"අද අපේ බොස් මට බැන්නා. මගෙ හිත සෑහෙන්න රිදුනා" කියන නෝනල මහත්තුරු අපි අනන්තවත් දැකල තියෙනවා. කාට හරි හිතුනද ඔය රිදෙන හිත කොහෙද තියෙන්නෙ කියල? මොළයේ ද? හදවතේ ද? නැත්තං කොහෙද? 

හිත රිදෙන එක දැන් විලාසිතාවක් වෙලා. ඔෆිස් වල වැඩ කරන අය හැම 10 දෙනෙක්ගෙන්ම එක්කෙනක්ට හිත රිදිලම මනස ලෙඩ වෙලා ප්‍රතිකාර ගන්න වෙනවා. ඒ වගේ හිත රිදෙන අය හින්දා අවුරුද්දකට ලෝකයේ වැඩ කරන දවස් 36 ක වටිනාකමක් නැති වෙලා යනව. 

හිතෙන හැටි කියවන අයගෙන් ගොඩක් අයගෙත් ජීවිතේ එක පාරක් හරි රාජකාරි ජීවිතයේ දි හිත රිදිල ඇති. ඉතිං මේක බොහොම පොදු ප්‍රශ්නයක්. ඒ හින්දම ලෝක මානසික සෞඛ්‍ය සම්මේලනය මේ අවුරුද්දෙ ලෝක මානසික සෞඛ්‍ය දිනයේ තේමාව විදියට "Mental Health in the Workplace" (සුවබර මනසක් - සුවැති වැඩබිමක්) කියන තේමාව යොදාගෙන කාර්යාල වල, වැඩබිම් වල මිනිසුන් මුහුණ දෙන මානසික සෞඛ්‍ය ගැටළු ගැන කතා කරන්න තීරණය කලා.

ඉතිං, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අපිත් තවත් සංවිධාන ගොඩක් එක්ක එකතු වෙලා මහජන ප්‍රදර්ශනයක් සංවිධානය කරල තියෙනවා. 
දවස: ඔක්තෝබර් 05
වෙලාව: උදේ 10 - සවස 6
තැන: බත්තරමුල්ල, දියත උයන
අයකිරීම: නොමිලේ

මේ බ්‍රහස්පතින්දා (පෝය දවසෙ) පවුලෙ හැමෝම එක්කගෙන දියත උයනට ආවොත් හිත තියෙන්නෙ කොහෙද කියල විතරක් නෙමෙයි හිත රිදෙන හැටි, හිත රිදෙන එක වලක්වාගන්න හැටි වගේ ගොඩක් දේවල් දැනගන්න පුලුවන්.

එහෙනං බ්‍රහස්පතින්දා දියත උයනෙදි හමු වෙමු. 

එන්න, අපි අපේ මානසික සෞඛ්‍යය ගැන කතා කරමු....!


Thursday, September 28, 2017

සිත්තරී මං හෙවත් සම්මාන ලැබූ වීරවරිය...


තිලිණි ෂැල්වින් හෙවත් සිත්තරී මං ගැන බ්ලොග් පෝස්ට් එකක් ලියනවද, වෝල් එකේ ලියනවද කියල හිත හිත දවසක්ම ගත වුණා. ඕන දෙයක් වෙද්දෙන් කියල බ්ලොග් පෝස්ට් එකක් ලියන්න තීරණය කලේ ඇයව මුලින්ම දැන හඳුනාගත්තෙ බ්ලොග්කාරියක් විදියට නිසා. සංස්කාරය විනිවිද කියල බ්ලොග්ස්පොට් වලත්, වර්ඩ්ප්‍රෙස් වලත් යන දෙකේම ලියූ ඇය (දෙකේම ලිව්වෙ එකම දේවල් හැබැයි) දැන් නං ෆේස්බුක් වලට සින්න වෙලා ද කොහෙද.

මීට අවුරුදු දෙකකට විතර ඉස්සර තිලිණි තමන් සේවය කරන කහටලියද්ද චූලාභය ද්විතීයික පාසලේ ඉගෙනගන්න දරුවන්ට තියෙන අඩුපාඩු ගැන, විශේෂයෙන්ම අවුරුදු 6 ක් තිස්සේ ඒ දරුවන්ට බලපාල තිබුණු ජල හිගය ගැන තමන්ගෙ ෆේස්බුක් මිතුරන් එක්ක සාකච්ඡා කලා. ඒ විතරක් නෙමෙයි ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වුණා. එහි ම එක් අංගයක් විදියට මටත් ඒ පාසලට යන්න අවස්ථාව ලැබුණා. ඇයගේ මහන්සියත්, උනන්දුවත්, මිතුරු මිතුරියන්ගේ මූල්‍ය සහ ශ්‍රම දායකත්වයත් එකතු කරල පාසලට කිලෝමීටර් 1 1/2 ක් දුරින් තියෙන ජල උල්පතකින් පාසලට ජලය සපයාගන්න තිලිණි සමත් වුණා.
කහටලියද්දට පායන ඉර

ඒ විතරක් නෙමෙයි, ඊට සමගාමීව තවත් බොහෝ දේවල් කහටලියද්දෙ සිද්ධ වුණා. කහටලියද්ද කියන්නෙ සුන්දර දුම්බර මිටියාවතේ තියෙන එක ගම්මානයක්. මහනුවර මහියංගන පාරෙ කිලෝමීටර් 49 ක් ගියාම හම්බවෙන උඩදුම්බර නගරයෙන් වම් පැත්තට කිලෝමීටර් 8 ක් විතර යනකොට තමයි කහටලියද්ද හම්බවෙන්නෙ. උඩදුම්බර ඉඳල කහටලියද්දට යන ගමන ඉතාම ප්‍රපාතාකාර බෑවුම් සහිත මාර්ගයක යන්න තියෙන ගමනක්. ඉතින් මේ දුෂ්කර ගම්මානයේ දරුවො මුලින්ම පුළුල් තිර සිනමා දර්ශනයක් නැරඹුවෙ මේ ජල ව්‍යාපෘතිය පටන්ගත්ත දවසෙ. පාසලේ අඩුපාඩු බොහොමයක් සම්පූර්ණ කරල දෙන්නත් තිලිණිගෙ මගපෙන්වීමෙන් ෆේස්බුක් මිතුරන් සමත් වුණා. එදා මෙදා තුර තිලිණි තමන්ගේ පාසලේ දරුවන් වෙනුවෙන් බොහෝ දේ කලා.
අත කඩා ගත් තිලිණි

ඉතින් තිලිණිගෙ ඒ කැපවීමට හිමි සම්මානය පහුගිය 27 වෙනිදා රෑ තිලිණිට ලැබුණා. ඒ “අද දෙරණ ශ්‍රී ලංකන් ඔෆ් ද ඉයර් - 2017” සම්මාන උළෙලෙ දි. Ada Derana Sri L ankan of the year 2016 – Unsung Hero ලෙස ඇය අභිෂේක ලැබුවේ ඩයන් ගෝමස් සහ රාධිකා කුමාරස්වාමි යන මහත්ම මහත්මීන් අතින්. ඇයත් සමග ඒ වේදිකාවේ දී සම්මානයට පාත්‍ර වූයේ මුත්තයියා මුරලිදරන්, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ, ව්‍යාපාරික මහේෂ් අමලීන්, කලාකීර්ති අයිරාංගනී සේරසිංහ සහ රවිබන්දු විද්‍යාපති ආදී දස දිග පතල පෞරුෂයන්. ඉතින්, කොයි තරම් ආඩම්බරයක් ද?

ඉතින්, තිලිණි... කෙදිනක හෝ ඔබෙන් ශිල්ප ලබන දරුවන් වැඩිහිටියන්ව, මිනිසුන් වෙනුවෙන් සේවය කරන මිනිසුන් බවට පත් වන දිනෙක ඔබේ නෙත් තුටු කඳුලින් පිරේවි. එතෙක් ඔබට තව බොහෝ දුර යා හැකියි. ඔබ වෙත එන මතු පරපුර වෙනුවෙන් තවත් බොහෝ දේ කරන්නට මෙම සම්මානය ඔබට ශක්තියක් වේවි.

සුබපැතුම්....!

ප.ලි. - ඇය සම්මාන ලැබූ සම්මාන රාත්‍රිය හෙට (29) රෑ 9.30 ට දෙරණ නාලිකාවෙන් විකාශය වෙනවා...

ප.ප.ලි. - මේ තියෙන්නෙ මේ බ්ලොග් එකේ ෆේස්බුක් පේජ් එක. "හිතෙන හැටි". ලයික් එකක් දැම්මොත් මීට පස්සෙ ලියන පෝස්ට් ටයිම් ලයින් එකටම වැටෙයි.

Saturday, September 23, 2017

පිස්සු ද? හැටි ද?


මම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආපනශාලාවේ තේ කෝප්පයක් රස විඳිමින් සිටිමි. මීට ටික වේලාවකට පෙර මා ගමන් කරමින් සිටි බස් රථයේ ප්‍රදර්ශනය කරනු ලැබූ වීඩියෝවක් මගේ මතකයට නැගෙයි. එක්තරා ඇමතිවරු දෙදෙනෙක් ග්‍රාමීය ප්‍රදේශයක වෙදමහතකු සොයා පැමිණෙති. එකී වෙදමහතා "පිස්සු" සුවපත් කිරීමට ප්‍රසිද්ධ වෙද මහතෙකි. මේ ඇමතිවරු දෙදෙනා යනුවෙන් පෙනී සිටින්නේ "පිස්සන්" දෙදෙනෙකු යැයි උපකල්පනය කරන වෙද මහතා ඔවුන් සිර කර තබා ගනිමින් ප්‍රතිකාර කරයි. ඔවුන් පැන යාමට උත්සාහ කරන අවස්ථා වල දී ද ගම් වැසියන් පවා සිතන්නේ මේ දෙදෙනා "පිස්සන්" බව ය. 

මා මේ මොහොතේ සිටින මේ භූමිය 1926 ට පෙර හැඳින්වූයේ "පිස්සන් කොටුව" හෙවත් Lunatic Asylum යන නමිනි. ටොරින්ටන් හි පිහිටුවනු ලැබූ පිස්සන් කොටුව ලංකාවේ දෙවන පිස්සන් කොටුව යි. පළමුවැන්න බොරැල්ලේ තිබූ බව කියවෙන නමුත් එහි ශේෂයන් දක්නට නොමැත. එහෙත් මෙම පිස්සන් කොටුව පසු කාලීන ව ලංකා ගුවන්විදුලිය (Radio Ceylon) බවට පත් කරන ලදින් එය සුරැකිනි. 

රූපවාහිනී වෙළඳ දැන්වීමක පෙනී සිටින එක්තරා රංගන ශිල්පිනියක් "අඹ කපන්න විතරක් පිහියක් ගන්නෙ ආයෙ පිස්සුවටයැ" යි කියන්නී ය. මා ගෙදර සිටි කාලයේ සතියකට දෙතුන් වතාවක් මගේ කාමරයට එන අම්මා "මේක පිස්සන් කොටුව වගේ නොතිය ටිකක් සුද්ද කර ගනිංකො" යැයි බැන වැදීම පුරුද්දක් ව පැවතිනි. මීට ටික කාලයකට පෙර මා විසින් කරන ලද ක්‍රියාවක් විවේචනය කල අයෙක් සැනසීමට තවෙකෙක් "ආ වැඩිය ගණන් ගන්න එපා. පිස්සු නෙ." යැයි පවසා තිබූ බව මට පසුව ආරංචි විය. 



මේ අනුව බලන කල පෙනී යන්නේ "පිස්සු" යන වචනය මානසික අසමතුලිතතාවයක් පවතින, වැරදි අවබෝධයන් සහිත, තනිව තීරණයක් ගත නොහැකි, වැරදි නිගමන වලට එළඹෙන, අපිරිසිදු පුද්ගලයන් කණ්ඩායමක් හැඳින්වීමට භාවිතා කරන බව ය. මීට සියවසකට පමණ ඉහත දී කිසියම් මානසික ආබාධයකින් පෙළෙන පුද්ගලයන් හැඳින්වීමට එම වචනය භාවිතා කරන ලද්දේ එකී ලක්ෂණ සැලකිල්ලට ගනිමිනි. එහෙත් වර්තමානයේ එවැනි ලක්ෂණ සහිත මානසික ආබාධ වලින් පෙළෙන පුද්ගලයන් දැකිය හැක්කේ කළාතුරකිනි. එබැවින් "පිස්සු" යන වචනය පොදු භාවිතාවේ යොදා ගැනෙන වචනයක් බවට පත් ව ඇත.

කිසියම් පුද්ගලයෙක් අවස්ථාවට නොගැලපෙන හෝ නිරීක්ෂණය කරන පුද්ගලයාගේ අවබෝධයට හෝ තෝරාගැනීමට පටහැනි හැසිරීමක්, කතාබහක්, තීරණ ගැනීමක් පෙන්වූ අවස්ථා වල අපි ඔහුට හෝ ඇයට "පිස්සුදැ" යි අැසීමට පුරුදු වී සිටිමු. එහෙත් බොහෝ විට එකී හැසිරීමට ඒ පුද්ගලයාගේ "හැටි" වීමට ඉඩ තිබේ. කොටින්ම ඉස්සර සිටි "පිස්සු" පුද්ගලයන් දැන් නැති නිසා කිසියම් මානසික ආබාධයක් අත්විඳින පුද්ගලයකුට පවා "පිස්සු" යැයි ආමන්ත්‍රණය කිරීමට අපට ඇති හැකියාව සීමා සහිත ය. එබැවින් පිස්සු දැයි ඇසිමට පෙර අප දෙවරක් සිතිය යුතු ය. 

දැන් මානසික ආබාධය යන්න පැරණි "පිස්සු" රාමුව අභිබවා ගොස් ඇත. ඉස්සර පිස්සු හැදුනොත් ඔහු හෝ ඇය "පිස්සන් කොටුවට" ගෙන ගොස් දැමිය යුතු ය. ඒ ඔහුගෙන් හෝ ඇයගෙන් සමාජයට වන හානිය වලක්වා ගැනීමට ය. එහෙත් ලෝකය ඉදිරියට යමින් තිබෙන බවත්, මිනිස් මනස ගැන ඉස්සර නොදැන සිටි බොහෝ දේ මිනිසා දැන ඉගෙන ඇති බවත් අප තේරුම් ගත යුතු ය. මානසික රෝගය යනු හෘදයාබාධයක් හෝ දියවැඩියාව වැනි ම රෝගී තත්ත්වයක් බවත්, නිසි ප්‍රතිකාර නිසි පරිදි ලබා ගැනීමෙන් රෝග ලක්ෂණ මැඩ පවත්වාගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට මානසික රෝග වලින් පෙළෙන පුද්ගලයන්ට හැකියාව ඇති බවත් දැන් පිළිගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ 2005-2015 මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තිය මගින් දිස්ත්‍රික් මට්ටම දක්වා මානසික රෝගී නේවාසික ප්‍රතිකාර සේවා ව්‍යාප්ත කරන ලද්දේ ඒ අනුව ය. දැන් මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයන්ට තම දිස්ත්‍රික්කයේ මහරෝහලේ නැවතී ප්‍රතිකාර ගැනීමටත් රෝග ලක්ෂණ පහව ගිය පසු නැවත නිවසට ගොස් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමටත් අවස්ථාව සැලසී තිබේ. එමෙන්ම නිවසට ආසන්නතම රෝහලෙන් පසුවිපරම් සහ ප්‍රතිකාර ලබාගැනීමට ද හැකියාව ඇත. 

එබැවින් යටත්විජිත සමයේ අප මානසික රෝග සහ රෝගීන් දෙස බැලූ කෝනය වෙනස් කර ගැනීමට කාලය එළඹ ඇත. අප එදා දුටු පිස්සුවට වඩා දැන් මානසික රෝගී තත්ත්වයන් වැඩියෙන් හඳුනාගනිමින් තිබේ. කිසියම් හෝ මානසික ආබාධයක් හේතුවෙන් රටට අහිමි වන මිනිස් පැය ගණන ගණන් බැලෙන්නේ ලක්ෂ ගනනින් නොව කෝටි ගණනිනි. එබැවින් මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන පුද්ගලයකුට නිසි ප්‍රතිකාර ලබා හැකි ඉක්මනින් නැවත සමාජගත වීමට අවශ්‍ය සමාජමය පිළිගැනීම ලබා දීම අත්‍යවශ්‍ය කරුණකි. 

දැන් මානසික සෞඛ්‍යය පිළිබඳ නිර්වචනයට රෝග මට්ටම අභිබවා පුළුල් පරාසයක් අන්තර්ගත කර ඇත. ඔබ කාර්යාලයේ දී, නිවසේ දී හෝ වෙනයම් අවස්ථාවක අත්විඳින ආතතිකාරී අවස්ථා වල සිට, ඉතා බරපතල ඝනයේ මානසික රෝගී තත්ත්වයන් දක්වා විශාල පරාසයක අයහපත් මානසික සෞඛ්‍යය පිළිබඳ සංකල්පය විහිදී යයි. ජීවිතයේ කවර හෝ අවස්ථාවක ලේඛණගත මානසික රෝගයක් වැළඳීමේ හැකියාව පුරුෂයන්ගේ 10% කි. කාන්තාවන්ගේ 25% කි. සෑම පවුල් 4 කින් ම එකක කිසියම් මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන පුද්ගලයෙක් සිටින බව සංඛ්‍යාලේඛණ පෙන්වා දෙයි. 

හෙට දවසේ ඔබ හෝ මම කිසියම් මානසික රෝගයක ගොදුරක් වීමට ඇති හැකියාව කිසිවෙකුට අනුමාන කල නොහැකි ය. මොළයක් ඇති ඕනෑම අයෙකුට මානසික රෝගයක් වැළඳීමේ කිසියම් අවදානමක් තිබේ. කිසිවකු තුල අප දකින කිසියම් වෙනස් හැසිරීමක් "පිස්සු" ලෙස නොව ඒ පුද්ගලයාගේ "හැටි" ලෙස දකින්නට පුරුදු විය යුත්තේ එබැවිනි. "පිස්සුවේ හැටි" එහෙම ය. 

අවසාන වශයෙන් මාසයකට පසුව වුව ද කල යුතු ස්තුතියක් තිබේ. තමන්ගේ සල්ලි වලින් සම්මාන උළෙලක් පවත්වා මදි වී ඒ සඳහා සහභාගී වන බ්ලොග්කරුවන්ට කොළඹ සිට ප්‍රවාහන පහසුකම් ද සලසා දීමට තරම් පිස්සුවක් තිබූ ඉන්දික උපශාන්ත සහ දුෂාන් කරවිට සහෘද බ්ලොග්කරුවන්ට හා එහි දේශීය බර කරට ගත් අතුල තිලක් රණසිංහ, ලක්මාල් කන්දෙවිදාන සහ සුමිත් කලණසිරි ආදීන්ට ය. ඒ ඔවුන්ගේ හැටි ය. ඒ හැටිය විශිෂ්ඨ ය.


නැවත හමු වෙමු....!